විදේශ රැකියා ක්ෂේත්‍රය කඩිනමින් ඩිජිටල් කරනවා – මනූෂ සහතිකයක් දෙයි
Posted on February 13th, 2023

Manusha Media

ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කරන්න – ඕමානයේ ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතන ඇමැති මනූෂගෙන් ඉල්ලයි

විදේශ රැකියා ක්ෂේත්‍රය කඩිනමින් ඩිජිටල් කරනවා – මනූෂ සහතිකයක් දෙයි

ඕමානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමේ දී ඇතිවන කාර්යපටිපාටි ම ය ප්‍රමාදයන් වළක්වා ගැනීම පිණිස, විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසට, එරට සිටින ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගෙන් ඉල්ලා සිටි අතර, ඒ සඳහා කඩිනම් පියවර ගන්නා බවට ඇමැතිවරයා සහතික විය.

ඕමානයේ සිව් දින නිල සංචාරයක නිරත ව සිටින අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවේ දී ඇමැතිවරයා මෙම සහතිකය ලබා දුන්නේය.

ශ්‍රමිකයන් බඳවා ගැනීමේ දී ගත යුතු අනුමැතීන් ලබාගැනීමට විශාල දුරක් ගෙවා තානාපති කාර්යාලයට පුද්ගලිකව පැමිණිමට සිදුවන බවත්, එයට විශාල කාලයක් වැය කිරීමට සිදුව ඇති බවත්, ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීහු ඇමැතිවරයාට පෙන්වා දුන්හ. මේ අතරම තානාපති කාර්යාලයේ පවතින නිලධාරී හිඟය නිසා ද අනුමැතීන් ලබාගැනීමේ කටයුතුවලට අමතර කාලයක් වැය කිරීමට සිදුව ඇති බවත් ඔවුහු සඳහන් කළහ.

එයට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ විදේශ රැකියා ක්ෂේත්‍රය කඩිනමින් ඩිජිටල් කිරීමට කටයුතු කරන බවයි.


මේ අතර ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ දී දුරස්ථ ක්‍රමයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව පමණක් බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ද මෙහි දී එකඟතාවයකට පැමිණියේය.

සංචාරක වීසා මගින් ඕමානයේ ගෘහ සේවයට කාන්තා ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම නිසා ඇතිවී තිබෙන ගැටලු සහ ඕමානයේ ශ්‍රමිකයන් බඳවා ගන්නා ආයතන නියෝජිතයන් මුහුණදී තිබෙන ගැටලු සඳහා දිය හැකි විසඳුම් පිළිබඳ ව ද මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.




Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress