ජනපති හා සිටි රවිට සමන්තභද්‍ර හිමි අමතයි
Posted on February 16th, 2023

උපුටා ගැන්ම  අරුණ පුවත්

පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත විය. සාකච්ඡාව අවසානයේ ජනාධිපතිවරයා රවි කරුණානායක හිටපු මුදල් අමාත්‍යවරයා සමග කිසියම් දෙයක් පිළිබඳ කතා කරමින් සිටින විට රවිගේ ජංගම දුරකථනය නාද විය. ‘‘එහෙමයි ස්වාමීන් වහන්ස, එහෙමයි. ඉන්න මම ජනාධිපතිතුමාට දෙන්නම් එතුමාටම කියන්නකෝ‘‘ යනුවෙන් දුරකතනය රනිල්ට දුන්නේය.

‘එහෙමයි ස්වාමීන්වහන්ස, මම දැන් මේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ටත් කිව්වේ ඔබ වහන්සේගේ වැඩපිළිවෙළ ගැන. මම කිව්වා ඒ වැඩපිළිවෙළ ආදර්ශයට අරගෙන කරන්න පුළුවන් දේවල් කරන්න කියලා. ඇත්තටම ඔබ වහන්සේ හොඳ වැඩක් කරලා තියෙනවා ආදර්ශයට ගන්න වටිනා

‘‘යනුවෙන් ජනාධිපතිවරයා කියාගෙන කියාගෙන ගියේය. ජනාධිපතිවරයාගේ අගය කිරීමට මේ අයුරින් ලක් වුණේ උමන්දාව නිර්මාතෘ පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්තභද්‍ර හිමියන්ය. ‘‘ඔවු ජනාධිපතිතුමා, ඕනම වෙලාවක මම ලෑස්තියි මම දන්න දේ රටට කියලා දෙන්න. ඒ වගේම ඔබතුමාගේ රාජාසන කතාවත් හොඳයි. කතාව වගේම ඒක යථාර්ථයක් කරගන්න වැඩ කරනවා නම් ඊටත් වඩා හොඳයි

‘‘සිරිධම්ම හිමියන් ජනාධිපතිවරයාට පෙරළා පැවසීය. සිරිධම්ම හිමියන්ට පසුගිය කාලයේ දිගින් දිගටම ජීවිත තර්ජන එල්ලවීම හේතුවන් උන්වහන්සේගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු යොදන ලෙස සිරිධම්ම හිමියන් රවිට පවසා තිබේ. රවි සිරිධම්ම හිමියන්ගේ දීර්ඝ කාලීන මිත්‍රයකු වන අතර ඔහු වහාම ක්‍රියාත්මක වී ජනාධිපතිවරයා දැනුවත් කර ආශ්‍රමයේ ආරක්ෂාවට කටයුතු සම්පාදනය කර තිබිණි. එකී ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සිරිධම්ම හිමියන් රවිට අමතනවිට රවි සිටියේ ජනාධිපතිවරයා සමගය. එහෙයින් සිරිධම්ම හිමියන්ට සෘජුවම ජනාධිපතිවරයා සමගද සාකච්ඡා කිරීමට අවස්ථාව උදාවිය.

රනිල් එක්ක බෑ, රනිල්ට බෑ, රනිල් ඉන්නකං බෑ කියා පසු ගිය කාලේ කියපු බොහෝ දෙනා දැන් දැන් රනිල් ට විතරයි පුළුවන් යනුවෙන් කියන තැනට පරිවර්තනය වී තිබේ. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ සිට ජාතික නායකයන් දක්වා පසුගිය කාලේ ‘‘රනිල් ඉන්නකං බෑ‘‘ කියමින් පක්ෂය හැර යාම සුලබ දෙයක් වී තිබිණි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක සිය තනතුරින් ඉල්ලා අස්වුණේද කඩිනමින් පක්ෂ ප්‍රතිසංවිධානයක් නොකරන්නේ නම් පක්ෂයට අනාගතයක් නෑ කියමිනි. නමුත් නවීන් පසුගිය දවසක සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ රට මීට මාස 6කට කලින් තිබුණ තැන හා සසඳද්දී මේ වන විට රට ගොඩ එමින් තියෙන බවයි. ඒ සියල්ලට හේතුව රනිල් සිය දේශපාලන පන්නරයෙන් තනියම ගහන ගේම් එකක් බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබේ. මේ වන විට රටේ නිල විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන දෙකකට පැමිණ ඇති බවත් රනිල් වික්‍රමසිංහ රට භාර ගන්නා විට විදේශ සංචිත තිබුණේ ඍණ මට්ටමක බවද මෙහිදී නවීන් පවසා තිබේ. කිසිම මැතිවරණයක් පවත්වන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂය කිසි විටෙක කියන්නේ නැතැයිද රට ස්ථාවර කිරීම සඳහා ජනාධිපතිවරයාට තව මාස හයක්වත් දිය යුතු යැයිද ඊට පසුව ඕනෑම මැතිවරණයකට යා හැකි යැයිද ඔහු මෙහිදී අවධාරණය කර තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress