උතුර සහ නැගෙනහිර බැඳීම – 1
Posted on August 8th, 2023

විමල් පටබැඳිගේ – ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්

මවුබස සහ ඉතිහාසය නොදැනීම, අමතක කිරීම, ගැරහීම සහ තමන්ගේ මවුපියන් සහ මුතුන්මිත්තන් කවුරුන් දැ’යි නො දැනීම, නො සලකා හැරීම සහ හෙළාදැකීම අතර වෙනසක් නැත. ඉතිහාසය අධ්‍යාපන විෂය මාලාවෙන් කපා හැරීම 1965 වසරේ ආරම්භ විය. ලංකා ඉතිහාසය, ඉන්දියානු ඉතිහාසය සහ යුරෝපා ඉතිහාසය යනුවෙන් පුළුල් විෂය තුනක් ලෙස එතෙක් හැදෑරූ සිසුන්ට එතැන් සිට ලංකා ඉතිහාසය සහ ඉන්දියානු ඉතිහාසය හෝ ලංකා ඉතිහාසය සහ යුරෝපා ඉතිහාසය යනුවෙන් එක විෂයයක් විය. 1970 වසරෙන් පසු ඉතිහාසය ”සමාජ අධ්‍යයනය” තුළ අච්චාරුවක් බවට පත් කරනු ලැබීය. ඉතිහාසයෙන් සහ සාහිත්‍යයෙන් කන්න පුළුවන් දැ’යි ඇසූ පාලකයන් සිටි රටේ ඉතිහාසය ”රට කෑමට” යොදාගෙන ඇති සැටි නැගෙනහිර පළාතේ ගැටළුව එළිදරවු කරයි.    

යාපනේ අර්ධද්වීපය වාර්ගික භූමියක් බවට පත්කර ගැනීම සඳහා ව්‍ය.ව. 1948 වසරෙන් පසු වේගවත් කොට ඇති වර්ගවාදී ව්‍යාපාරය ලෙස ම නැගෙනහිර පළාත ද, ඒක වාර්ගික භූමි ප‍්‍රදේශයක් බවට පත් කරගැනීම සඳහා භූමි හිමිකම් කියමින් නිරන්තරයෙන් වෙර දරමින් අපූරු ඉතිහාසයක් නිර්මාණය කරමින් සිටින බැවින්, පුරවැසියන්ගෙන් වසංකොට ඇති පළාතේ ඓතිහාසික, සාමාජික සහ සංස්කෘතික සාධක සලකා බැලීම අවශ්‍ය කරුණකි. ව්‍ය.ව. 13 වෙනි සියවසට පෙර දිවයිනේ ස්ථිර දෙමළ පදිංචියක් නො වූ බව ඉතිහාසඥයන් පිළිගෙන ඇති බැවින් එතැන් සිට ඓතිහාසික තොරතුරු සලකා බැලීම සුදුසු ය. 

දිවයිනේ පදිංචි වීමේ ස්ථිර අරමුණ ඇතිව ඉන්දියාවේ ද්‍රවිඩ භූමියේ සිට දෙමළ ජනයා ව්‍ය.ව. 13 වෙනි සියවසේ පැමිණි බවට සහ උතුරට ඉතා කිට්ටු ප‍්‍රදේශයේ සහ නැගෙනහිර දිස්ත‍්‍රික්කවල දේශපාලන ගැටළු සමග බැඳුනු ප‍්‍රමුඛ ද්‍රවිඩ ප‍්‍රදේශයක් ලෙස නැගෙනහිර පළාත මතු වූ බවට1(* අදහසක් ඉදිරිපත් කරනු ලැබ ඇත. එය ආචාර්යවරුන් ඇතුළු බොහෝ උගතුන් තමන්ගේ දේශන සහ ලිපි ලේඛනවලින් පුනරුච්චාරණය කරමින් ඇත. එමෙන් ම ඉතිහාසය හදාරන ආධුනිකයන්ට ද උගන්වනු ලැබෙයි.

ඓතිහාසික තොරතුරු නැගෙනහිර පළාතේ ද්‍රවිඩ/දෙමළ ජනයාගේ පදිංචිය සිදු වූ අයුරු සහ කුමන කාලයක දැ’යි එළිදරවු කෙරෙයි. එසේ ම දෙමළ ජනයාගේ නිජබිම වූ දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ භූමිය (චෝල, පාණ්ඩ්‍ය සහ කේරළ* අත්හැර දැමීමට සහ ස්ථිරව පදිංචි වීමේ අරමුණ ඇතිව දිවයිනට පැමිණීමට ඔවුන් පෙළඹවීමට තරම් වාසිදායක පසුබිමක් ව්‍ය.ව. 13 වෙනි සියවසේ හෝ ඉන් පසුව ව්‍ය.ව. 19 වෙනි සියවසේ දෙවෙනි භාගය වෙන තෙක් නැගෙනහිර පළාතේ සහ උතුරට යාබද ප‍්‍රදේශයේ පැවති බවට ඓතිහාසික සහ පුරාවිද්‍යා සාධක තිබේ දැ’යි සොයා බැලිය යුතු වෙයි. 

ඓතිහාසික සාධක සමග ඉහත සඳහන් අදහස කොපමණ ගැලපේ දැ’යි විමසා බැලීම විශේෂයෙන් ම ඉතිහාසය හදාරන්නෙකුගේ වගකීමකි. කවර හෝ කරුණක් පිළිබඳව නිශ්චිත අදහසක්, මතයක් ප‍්‍රකාශ කිරීම සාධක මත විය යුතු ය. සාධක මගින් යම් අදහසක් සනාථ නොවේ නම් එය කෙනෙකුගේ හිතළුවක්, පදනමක් නැති සිතිවිල්ලක් පමණකි. 

ව්‍ය.ව. 13 වෙනි සියවසේ සිට උතුරට ඉතා කිට්ටු ප‍්‍රදේශයේ සහ නැගෙනහිර පළාතේ දේශපාලන ගැටළු සමග බැඳුනු ප‍්‍රමුඛ ද්‍රවිඩ ප‍්‍රදේශයක් ලෙස නැගෙනහිර පළාත මතු වී ද?

ඉහත කී අදහස, උතුරට ඉතා කිට්ටු ප‍්‍රදේශය සහ නැගෙනහිර පළාත තුළ ව්‍ය.ව. 13 වෙනි සියවසේ සිට

(1* දෙමළ ජනයා ස්ථිරව පදිංචි වී සිටි බව,
(2* මේ භූමි ප‍්‍රදේශවල ජනයාගෙන් බහුතරය දෙමළ වාර්ගිකයන් වූ බව,
(3* මේ ප‍්‍රදේශ එකට බද්ධ කළ දෙමළ දේශපාලනයක් පැවති බව, සහ
(4* උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ වී පැවති ප‍්‍රමුඛ දෙමළ භුමියක් බව
විශ්වාස කිරීමට පාඨකයන්, ශ‍්‍රාවකයන්, විශේෂයෙන් ම ඉතිහාසය හදාරන අය පොළඹවනු ලබයි.

සැබවින් ම එවැනි ඓතිහාසික තත්වයක් 13 වෙනි සියවසේ සිට පැවතියේ ද?

ඉහත කී ප‍්‍රකාශයේ නිශ්චිත ප‍්‍රදේශයක් නම් කොට නැති බැවින් පළමුව ”උතුරට ඉතා කිට්ටු ප‍්‍රදේශය” කුමක් දැ’යි අඳුනාගැනීමට සිදු වෙයි. වත්මන් පළාත් බෙදීම ව්‍ය.ව. 1833 වසරට පෙර දිවයිනේ නොපැවති නිසා, අදහස් කළේ ඉංගිරිසි කොලනිවාදී පාලකයන් ව්‍ය.ව. 1833 වසරේ නිර්මාණය කරන ලද උතුරු පළාතට යාබද ප‍්‍රදේශයක් නම්, ව්‍ය.ව. 1873 වසරට පෙර පැවති උතුරු පළාතේ දකුණු සීමාව සහ 1873 වසරට පසුව පවතින දකුණු සීමාව කුමක් දැ’යි පැහැදිලි කරගත යුතුව ඇත.

ව්‍ය.ව. 1833 වසරේ නිර්මාණය කරන ලද උතුරු පළාතට සිංහල රාජ්‍යයේ නුවරකලාවිය දිසාවනිය (වර්තමාන අනුරාධපුර දිස්ති‍්‍රක්කය* සහ වන්නි දිස්ත‍්‍රික්කයේ නැගෙනහිර සීමාව සහ මුහුදු වෙරළ සීමාව අතර වූ කුරුඳුගමුරට දිසාවනියට අයත් වූ විශාල භූමි කොටසක් ඇතුළත් කොට නිර්මාණය කළ වර්තමාන මුලතිව් දිස්ති‍්‍රක්කය ඇතුළත් විය. ඊශාණදිග භූමියේ කුරුඳුගමුරට දිසාවනියට අයත් ව තිබූ භූමි ප‍්‍රදේශයක් සහ තමන්කඩුව දිසාවනිය (වත්මන් පොළොන්නරු දිස්ති‍්‍රක්කය* නැගෙනහිර පළාතට ඇතුළත් විය. ඒ අනුව ඉංගිරිසීන් නිර්මාණය කරන ලද උතුරු පළාතේ දකුණු සීමාව ව්‍ය.ව. 1873 වෙන තෙක් වර්තමාන මාතලේ දිස්ති‍්‍රක්කයේ උතුරු සීමාව සහ නැගෙනහිර පළාතේ උතුරු සීමාව විය. එසේම තමන්කඩුව දිසාවනිය (වර්තමාන පොලොන්නරු දිස්ති‍්‍රක්කය* නැගෙනහිර පළාතට අයත් විය. ව්‍ය.ව. 1873 දී අනුරාධපුර දිස්ති‍්‍රක්කය (නුවරකලාවිය* උතුරු පළාතෙන් ඉවත් කොට සීමා වෙනස් කොට උතුරු පළාත යළි නිර්මාණය කරනු ලැබීය. එසේම පොළොන්නරු දිස්ති‍්‍රක්කය (තමන්කඩුව* නැගෙනහිර පළාතෙන් ඉවත් කොට අනුරාධපුර දිස්ති‍්‍රක්කය (නුවරකලාවිය* සමග එකතු කොට උතුරුමැද පළාත නිර්මාණය කරනු ලැබීය. ව්‍ය.ව. 1873 වසරෙන් පසු උතුරු පළාතේ දකුණු සීමාව වන්නි ප‍්‍රදේශයේ දකුණු සීමාව වෙයි. එනම් උතුරුමැද පළාතේ උතුරු සීමාව සහ නැගෙනහිර පළාතේ උතුරු සීමාව වෙයි. ඉංගිරිසීන් 1833 වසරේ කළ බෙදීමට පෙර එවැනි පළාත් බෙදීමක් දිවයිනේ නොවීය. 

ඉංගිරිසීන් නිර්මාණය කරන ලද පළාත් සීමා අනුව, ඉහත ප‍්‍රකාශයේ සඳහන් ”උතුරට ඉතා කිට්ටු ප‍්‍රදේශය” කුමක් දැ’යි නිශ්චිතව නිගමනය කිරීමට නොහැකි ය. දක්වා ඇති අදහස පළාත් නිර්මාණය කිරීමට සියවස් පහකට පමණ පෙර, එනම් ව්‍ය.ව. 13 වෙනි සියවසේ දිවයිනේ ඉතිහාසය හා සම්බන්ධ බැවින් බොහෝ විට ”උතුර” යනුවෙන් දක්වන්නට ඇත්තේ යාපාපටුනට (යාපන අර්ධද්වීපයට* සහ කිලාලි කලපුවට යාබද වන්නියේ උතුරු සීමා ප‍්‍රදේශය විය යුතු ය. 

ඉංගිරිසි කොලනිවාදී පාලකයන් 1873 වසරේ නිර්මාණය කරන ලද උතුරු සහ නැගෙනහිර පළාත් දෙක ”ප‍්‍රමුඛ” නොවූවත් සාමාන්‍ය ද්‍රවිඩ ප‍්‍රදේශයක් ලෙස හෝ සම්බන්ධ වී තිබීමට නම් අවම වශයෙන් යාපාපටුන (යාපන අර්ධද්වීප* දකුණු සීමාව, කිලාලි කලපුවේ දකුණු සීමාව සහ වර්තමාන නැගෙනහිර පළාතේ උතුරු සීමාව අතර ප‍්‍රදේශය (කුරුඳුගමුරට දිසාවනිය* තුළ සහ නැගෙනහිර පළාතේ දකුණු සීමාව (කුඹුක් ඔය* දක්වා ප‍්‍රදේශය තුළ ද්‍රවිඩ/දෙමළ ජනයා ස්ථිර ව පදිංචි වී සිටීම අනිවාර්ය සාධකයක් වෙයි. 13 වෙනි සියවස (ව්‍ය.ව. 1201-1300* ආරම්භයේ සිට මේ ප‍්‍රදේශ සම්බන්ධ ඓතිහාසික තොරතුරු සහ පුරාවිද්‍යා සාධක නිසැකයෙන් ම මෙය එළිදරවු කරනු ඇත.

ව්‍ය.ව. 13 වෙනි සියවසේ අවසාන වසර දසක කීපය වෙන තෙක් නිරන්තර සටන් බිමක් ලෙස පැවති ප‍්‍රදේශයේ ස්ථිරව පදිංචි වීමේ නිශ්චිත අරමුණ ඇතිව ද්‍රවිඩ/දෙමළ ජනයා තමන්ගේ නිජබිම වෙන දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ භූමිය අත්හැර පැමිණි බවට ඉදිරිපත් කළ අදහස ඓතිහාසික කරුණු සාවදානව සලකාබලා කළ එකක් විය නොහැකිය. කෙසේ වෙතත්, ව්‍ය.ව. 13 වෙනි සියවසේ සිට මේ ප‍්‍රදේශයට එල්ල වූ විජාතික, විදේශීය තර්ජනවලට එරෙහි ව නැගී සිටියේ ජන්ම භූමි වාසී සිංහල බෞද්ධයන් පමණ කි. ආක‍්‍රමණිකයන්ට එරෙහි ව නැගීසිටි දෙමළ ජන කොටසක් ගැන සඳහන් නොවේ. මේ ප‍්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් බහුතරය දෙමළ අය වූයේ නම් ව්‍ය.ව. 19 වෙනි සියවසේ දෙවෙනි භාගයේ ඉන්දියාවේ ද්‍රවිඩ භූමියෙන් මලබා්ර ද්‍රවිඩ ජනයා ”නිදහස් සහ ලිහිල් කොන්දේසි”( * යටතේ ගෙනවිත් ”දෙමළ කොලනි” පිහිටුවීමට අවශ්‍ය නොවෙනු ඇත. එමෙන් ම 19 වෙනි සියවසේ දුම්කොළ සහ වතු වගාව සහ කුදුමහත් කටයුතු සඳහා ද්‍රවිඩ කූලීන් ලක්‍ෂ ගණනක් වහලූන් ලෙස ගෙනේම අවශ්‍ය නොවෙනු ඇත. 
ඉතිහාසය පුරා ව්‍ය.ව. 1815 වෙන තෙක් අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි, ගම්පොළ, කෝට්ටේ, සීතාවක සහ සෙංකඩගල රාජ්‍ය යුගවල මේ ප‍්‍රදේශය සිංහල රාජ්‍ය පාලනය යටතේ පැවති බව සහ පාරම්පරික සිංහල බෞද්ධ ජන්ම භූමිය වූ බව සනාථ කරන ඓතිහාසික තොරතුරු සහ ලැබී ඇති සහ තවමත් ලැබෙමින් ඇති පුරාවිද්‍යා සාධක අති මහත් ය. නැගෙනහිර පළාතේ දෙමළ කොලනි පිහිටුවීමේ මූලිකයන් වූයේ ඉංගිරිසි කොලනිවාදී පාලකයන් බව ඔවුන් ම ඉදිරිපත් කොට ඇති තොරතුරු සහ නිල වාර්තා සනාථ කරයි. 1848 සිංහල විමුක්ති අරගලයෙන් පසු ටොරිංටන් ආණ්ඩුකාරයා ”යාපනේ මලබාර් ද්‍රවිඩයන් පදිංචි කළ ලෙසින් ම නැගෙනහිර පළාතේ ද මලබාර් ද්‍රවිඩයන් පදිංචි කරවීමට සූදානම්” බව ලියා යැවීමෙන් නැගෙනහිර පළාත පමණක් නොව යාපනේ ද මලබාර් (දෙමළ* කොලනි බවට පත් කළේ ඉංගිරිසීන් බව තහවුරු කරයි. 

පිදුරුතලාගල කඳු මුදුනේ පිහිටුවා ඇති සෙල් කුළුණෙන් දිවයිනේ දිසා අට දැනගැනීමට සලස්වා ඇත. උතුරු පළාතට සහ නැගෙනහිර පළාතට කිට්ටු ප‍්‍රදේශය ඊශාණදිග (නෝත්-ඊස්ට්* ප‍්‍රදේශය වෙයි. ඉංගිරිසි කොලනිවාදී පාලකයන් ව්‍ය.ව. 1833 දී දිවයින, උතුරු, දකුණූ, නැගෙනහිර, බස්නාහිර සහ මධ්‍යම යනුවෙන් පළාත් පහකට බෙදනු ලැබී ය. ඊශාණදිග භූමිය සහ ගිනිකොනදිග (සවුත්-ඊස්ට්* භූමියෙන් විශාල කොටසක් ද නැගෙනහිර පළාතේ භූමිය වීය. පුරාණ කුරුඳුගමුරට දිසාවනිය (වර්තමාන මුලතිව් දිස්ති‍්‍රක්කයට අයත් විශාල භූමි ප‍්‍රදේශයක්*, තමන්කඩුව දිසාවනිය (පොළොන්නරු දිස්ති‍්‍රක්කය* සහ පුරාණ දිගාමඬුල්ල ඇතුළත් කුඹුක් ඔය (කුඹුක්කන් ආරු* දක්වා විශාල ප‍්‍රදේශයක් නැගෙනහිර පළාතට ඇතුළත් විය. මුලතිව් ප‍්‍රදේශ ඇතුළු ඒ ප‍්‍රදේශය ව්‍ය.ව. 1833 වසරට පෙර සිංහල රාජ්‍ය පාලනය යටතේ වීය. ඉංගිරිසි කොලනිවාදීන් විසින් අප භාවිත කරනු ලබන පළාත් සහ පරිපාලන දිස්ති‍්‍රක්ක නිර්මාණය කරනු ලැබුවේ ඓතිහාසික, භූගෝලවිද්‍යා හෝ සමාජවිද්‍යා සාධක පදනම් කොට නොවේ.  

අදාල කරුණ සම්බන්ධයෙන් 1833 වසර තෙක් පැවති යාපාපටුනේ (යාපන අර්ධද්වීපයේ* දකුණු සීමාව සහ වත්මන් නැගෙනහිර පළාතේ උතුරු සීමාව අතර භූමිය පිළිබඳව සලකා බැලීම අත්‍යවශ්‍ය වෙයි. දිවයිනේ ඊශාන දිග කුඩා බිම් තීරුවකින් ප‍්‍රධාන භූමියට සම්බන්ධ වී තිබෙන යාපන අර්ධද්වීපයේ දකුණු සීමාවේ ඉතා විශාල ප‍්‍රදේශයක් කිලාලි කලපුවෙන් සීමා වී ඇත. දකුණු සීමාවට යාබද ප‍්‍රදේශය වන්නි ප‍්‍රදේශය වෙයි. දිවයිනේ ඊශාණ දිග පිහිටි මුලතිව් දිස්ති‍්‍රක්කය (කුරුඳුගමුරට දිසාවනිය* වන්නි ප‍්‍රදේශයට ඇතුළත් කරනු ලැබුවේ පළාත් බෙදීමේ දී ය. ඒ ප‍්‍රදේශය නැගෙනහිර පළාතේ තිරිකුණමල දිස්ති‍්‍රක්කයට යාබද ව ඇත. මේ ප‍්‍රදේශයේ භූමි පිහිටීම ය. 1833 වසරට පෙර යාපාපටුන (යාපන අර්ධද්වීපය* සහ නැගෙනහිර පළාත අතර පිහිටි ආසන්න ම භූමිය කුරුඳුගමුරට දිසාවනියට (මුලතිව් දිස්ති‍්‍රක්කයට* අයත් භූමිය විය. අදාල අදහස හා සම්බන්ධ මේ භූමි කොටස ගැන ඇති ඓතිහාසික තොරතුරු සහ පුරාවිද්‍යා සාධක ද සලකාබැලිය යුතු වෙයි.

…… 2 වෙනි කොටසට

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress