සත්‍ය වසන් කර ඉතිහාසය ඉගැන්වීම
Posted on July 20th, 2025

චානක බණ්ඩාරගේ

මෙයට වසර 2500 පෙර උතුරු ඉන්දියාවේ විජය කුමරා සිය පිරිවර (700) සමඟ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් සිංහල ජාතියේ ආරම්භය සිදුවීය.

එදා, විජයාගමනය ගැන ඉතිහාසය පොත් වල පරිච්චේද ගණනින් කරුණු සැලවිණි.

නමුත් අද මෙය ඉතිහාසය පොත්වල පාසැල් දරුවනට නොඋගැන්වේ.

අද ළමුනට උගන්වන්නේ හෝමෝ සපියන්වරු අප්‍රිකාවේ සිට සංක්‍රමණය කර ශ්‍රී ලංකාවේ මනුෂ්‍ය වාසය ආරම්භ වූ බවයි.

‘විජය කියා කුමරෙක් මෙරටට පැමිණියේය යන ජන විශ්වාශයක් මේ රටේ ඇත’ වැනි වූ තනි පේළියක් එක් ඉතිහාස පෙළ පොතක අවශේෂ ලෙස දක්වා ඇත.

විජයගෙන් රජවරුන් 4 දෙනෙකුගෙන් පසු රාජ්‍ය කල දේවානම් පියතිස්ස රජතුමා සමයේ, මිහිඳු හිමි මෙරටට ආගමනයෙන් මුළු රටම බෞද්ධ විය (වැද්දන් කිහිප දෙනෙක් හැර).

මුළු ලොවම විශ්මිත කරන අති ශ්‍රේෂ්ට සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය එමඟින් ආරම්භ විය.

මෙයට කළින්, මෙරට ශ්‍රේෂ්ට සිංහල ශිෂ්ටාචාරයට මුල් ගල තැබුනේ පන්ඩුකාභය රජතුමාගෙනි. ඔහු වසර 70ක් සාර්ථක ලෙස රජකම් කළේය.

පන්ඩුකාභය දෙමළ යයි එක් පුරා විද්‍යා මහාචාර්ය වරයෙක් කියා ඇත. මෙය බොරුවකි.

පන්ඩුකාභයගෙන් පසු මුටසීවද ඉන් අනතුරුව දේවානම් පියතිස්සද මෙහි රජ විය.

නමුත් අද ඉතිහාසය පෙළ පොත් වල ළමුන්ට ශ්‍රේෂ්ට සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය ගැන නොඋගන්වයි. වැව සහ දාගැබ සංකල්පය ගැන අද ඉතිහාසය පෙළ පොත් වල කිසිදු සඳහනක් නැත.

ඒ වෙනුවට පෙන්වා දෙන්න උත්සහ කරනුයේ වසර 40,000 – 50,000 පමණ එහා කාලයේත් මේ රටේ අති ශ්‍රේෂ්ට ශිෂ්ටාචාරයක් තිබු බවයි. එය සිංහල හෝ බෞද්ධ නොවේ. බොහෝ විට එය දෙමළ විය හැකි බවට ඉඟි ඔවුන් පළ කරත්.

මේ සඳහා සාක්ෂි වශයෙන් කළින් සඳහන් කල පුරා විද්‍යා මහාචාර්යවරයා බොහෝ අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇත – ලොව මුළින්ම යකඩ, සහල්, බාර්ලි, ඕට්ස්  සොයා ගත්තේ අපය වැනි. ඔහුගේ ඊනියා සොයාගැනීම් ලෝකයේ පිළිගත් පුරා විද්‍යාඥයින් පිළි ගෙන නොමැත.  

මොවුන් මේ බොරුව ව්‍යාප්ත කරනුයේ ඇයි? දේවානම් පියතිස්ස/මිහිඳු සුසංයෝගයෙන් මේ රටේ බිහි වූ ශ්‍රේෂ්ට සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය අවලංගු/මොට කිරීමටය.

කොටින්ම, ශ්‍රී ලංකාව වනාහි සිංහල බෞද්ධ රටක් නොවේය යන්න ස්ථාපිත කිරීමටය.

මොවුනට අවශ්‍ය සිංහලයාට ප්‍රථම මේ රටේ ද්‍රවිඩයන් සිටිය බවත්, ඔවුන් මේ රට සමුර්ධිමත්ව රාජ්‍ය කල බවත් පෙන්වීමටය.

තවද, සිංහලයාගේ සම්භවය උතුරු ඉන්දියාව නොව දකුණු ඉන්දියාවේ (දෙමළ) බව පෙන්වීම සඳහාද මොවුහු අපේ ඉතිහාසය විකෘති කරති.

මෙම මහාචාර්යවාරය/පුරාවිද්‍යඥයා දේශන පවත්වන නාලිකාවේ වැඩ සටහන්වලට සවන් දීමේදී සිංහලයාගේ සම්භවය දකුණු ඉන්දියාව බව පෙන්වීමට ඔහු තදින් (සූක්ෂම ලෙස) උත්සහ දරන බව පෙනේ.  නමුත්, සිංහලයාගේ සම්භවය විජය නිසා උතුරු ඉන්දියාව බව ඔහුට අවලංගු කල නොහැක  (උතුරු ඉන්දියාවේ සිංහපුර, වංග දේශයේ, ලාට රටේ – අද, බංග්ලාදේශයට අයත්). 

රාවණා නමැති ශ්‍රේෂ්ට රජතුමෙක් මෙහි රාජ්‍ය කළේය වශයෙන් දකුණු ඉන්දීය ද්‍රවිඩ සම්භවයක් ඇති මේ රටේ පෞද්ගලික රුපවාහිනි නාලිකා කාලයක සිට වැඩ සටහන් මෙහෙයවීය. සිංහලයෝද මේ පාරේ දිවුහ. රාවණා යනු ද්‍රවිඩයෙක් බවත්, ඔහු ශිව දෙවියන්ගේ අවතාරය බවත් මුළු ලොවම පිළිගෙන තිබෙන අවධියක රාවණා මෙහි වසර 5000 පෙර විරාජමාන වුවා යයි පිළිගැනීමෙන් අප සිදු කරන්නේ මේ රටේ සත්‍ය ලෙස බිහිවූ ලොව මවිතයට පත් කරන ශ්‍රේෂ්ට, සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය අවලංගු කර දැමීමයි.

මෙකී අසත්‍ය වැපිරීම් ප්‍රධාන ලෙසම කරනුයේ ඉහත කී පුරාවිද්‍යා මහාචාර්ය වරයායයි (රාවණා සම්බන්ධව නම් අඩුය). ඔහුගේ  ‘නොනවතින ඉතිහාසය’ වැනි ආසන්න නමක් යොදා ගත් කාණ්ඩ සිය ගණනින් යුත් යු ටියුබ් වැඩසටහන ඉතාම සිංහල බෞද්ධ ගැති බවක් පෙන්වීමට කටයුතු කරයි. සිංහලයා මොහුට අසු වන්නේ මේ නිසාය. මොහුගේ ජාතිය, ආගම කුමක්දැයි අප හරිහැටි නොදනිමු.   

සෙනරත් පරණවිතාන ශූරීන්ටවත් නොතිබූ තරමේ පිළිගැනීමක් මොහුට අද රටේ ඇත.

සෑම රාජ්‍ය නායකයෙක් වාගේම මොහුව සමීපව ආශ්‍රය කරයි. ඉතිහාසය පිළිබඳව කථිකාවකට ඔහු නැතිවම බැරිය.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව අර්ථ කථන ලබාගැනීමට සියල්ල දුව යන්නේ මොහු වෙතටයි. මොහුටම ගැලපෙන ඉතිහාසය පිළිබඳව ඔහුගේ වෙනත් ගෝල ආචාර්ය වරු මොහුට ඇත.

මොහු රජයේ විශ්ව විද්යාලයක පුරා විද්‍යාව පිලිබඳ මහාචාර්ය වරයාය.

හැකි සෑම විටම සිංහල බෞද්ධත්වයට හානි වන අර්ථ කථන ඉතා සුක්ෂම ලෙස ලබා දීමට මොහු සමත්ය.

විශාලතම විපත නම් ඉතිහාසය පිළිබඳව පාසැල් පෙළ පොත් සාදන සංස්කාරක මණ්ඩලයේ මොහු උසස් නිළයක් දැරීමයි. මොහු සහභාගී වී ඇති පාසැල් පෙළ පොත් සියල්ලේම වාගේ සිංහලයාට අගැතියට පත්වෙන ව්‍යාජ ඉතිහාසයක් මවා දක්වා ඇත.

මොහුට ස්තුතිවන්ත වෙන්න පාසැල් වල 6, 7, 10 ශ්‍රේණි වල පෙළ පොත් වල ඇත්තේ සිංහල බෞද්ධයා පහත හෙලන බොරු හා සමාන ඉතිහාසයකි (මොහු සම්බන්ධ නැති 8, 9 ශ්‍රේණි වල ඉතිහාසය පෙළ පොත් වල වැරදි ඉතිහාසය අඩුය).

‘සිංහල’, ‘බෞද්ධ’ යන වදන් පාසැල් පෙළ පොත් වලින් ඉවත් කර ඇත්තාක් මෙනි.

කළින් තිබු ඉතිහාස ග්‍රන්ථ මෙන් නොව, සිංහලයා පිළිබඳව ගෞරවයක්, ආඩම්බරයක්, අභිමානයක් වර්තමාන පෙළ පොත් මඟින් ළමා මනස තුල ඇති නොකරයි. ඉදින්, රට, ජාතිය ආගම ගැන ලැදි පරපුරන් පාසැල් මඟින්  කෙසේ සාදනුද?

පාසැලෙන් පිටත්වන දරුවා දේශප්‍රේමියෙකු නොවීම පුදුමයක් නොවේද?

දෙමළ, මුස්ලිම්, බර්ගර් ජාතින් පිළිබඳවද හොඳ, යහපත් දේද  දරුවන්ට ඉගැන්විය යුතුය. විශේෂයෙන්ම ඔවුන්ගේ ජාතික වීරවරයන් ගැන.

පුරාණ අතීත ශ්‍රී ලංකාවේ (වසර දහස් ගණනකට පෙර) සිංහලයාගේ වීර විකුම් අද සියළු දරුවන්ට ඉගැන්වීම දෙමළ, මුස්ලිම්, බර්ගර් වරුන් දෙවන පන්තියේ ලා  සැලකීමක් නොවේ.

ඉතිහාසය යනු සත්‍යයකි. ප්‍රභන්ධයක් නොවේ.

සිංහලයාට ප්‍රථම ද්‍රවිඩයන් මේ දේශයේ සත්‍ය වශයෙන්ම වාසය කලේ නම් අප දරුවන්ට එය එලෙසින්ම ඉගැන්විය යුතුය.

නමුත්, ඉතිහාසය එසේ නොවන කල, එවැනි අදහස් ඉතා සුක්ෂම ලෙස ළමා මනසට කාවැද්දීමට ඉතිහාසය පෙළ පොත් සමත් වීම හෝ එම කරුණ ගැන ප්‍රශ්නාර්ථයක් ළමා මනස තුල කුළු ගැන්වීම කණගාටුවට කරුණකි.

මිහිඳු හිමි සම්ප්‍රාප්තවීමට කළින් බුදු දහම මේ රටේ වීය යන්න මොවුන් ගෙන එන්නේ මෙය සිංහල බෞද්ධ රටක් නොවේය යන ඔහුගේ  මූළික තර්කය සාක්ෂාත් කර ගැනීමටයි. මහින්දාගමනය ඒතරම් වැදගත් නොවේය යන්න පෙන්වීමටය. එවිට, එයින් ශ්‍රේෂ්ඨ සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගැසිය හැක.

මෙවැනි හානී දායක ඉතිහාසයක් නිර්මාණය කිරීමට මොහුට නිදහස ලබා දී  ඇත්තේ මන්ද?

මේ රටේ සිටි රජවරුන් බොහෝ දුරට ද්‍රවිඩ හෝ ද්‍රවිඩ සම්භවයක් සහිත අය බව මොහුගේ යු ටියුබ් වැඩ සටහන් දක්වයි.

මෙවැනි විකෘති ඉතිහාසයන් රජයේ ඉතිහාස පොත් වල මීට කළින් පළවී නැත.

හෙළ කාන්තාවක් වූ කුවේණිය පවා ද්‍රවිඩ යයි මේ මහාචාර්ය වරයා පවසා තිබේ.

සිගිරිය කාශ්‍යප රජුගේ නිර්මාණයක් නොවන බවද මොහු කියා ඇත. 

මොහුගේ ලොකු බොරුවක් – ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙන් වුනේ මීට වසර 7,000 ට පෙර බව කිහිප වරක් පවසා තිබු මොහු එය අමුලික බොරුවක් බව අප පෙන්වා දුන් පසු ඒ වෙන්වීම සිදු වුයේ මීට වසර ලක්ෂ 7ට පෙර යයි දැන් පවසයි. පිළිගත් පුරා විද්‍යාඥයෙකුට/මහාචාර්යවරයෙකුට මෙවන් වරදක් කර ගැලවී යා හැකිද?.

මීට වසර 7,000කට පෙර ශ්‍රී ලංකාව ඉන්දියාවට ඇඳි තිබුණි නම් (මොහු කී පරිදී) සහ එවකට එහි ඔහු කියන අති ශ්‍රේෂ්ට, ලොව වෙන කොහේවත් නොතිබුනා වැනි  ශිෂ්ටාචාරයක් තිබුණි නම්, එය අයත් වන්නේ ඉන්දියාවටය (එකළ, ශ්‍රී ලංකාව දැවැන්ත ඉන්දියාවේ කොටසක්ව, යාවී තිබු බැවින්).  එසේ නම්, එවිට අපද ඉන්දියානුවෝ විය යුතුයි.

අපේ ජාතියේ ප්‍රධානම ග්‍රන්ථය වන මහාවංශය හේතු නොපෙන්වා මෙම මහාචාර්ය පුරාවිද්‍යඥයා බැහැර කරයි.

ප්‍රභාකරන්, ඇන්ටන් බාලසිංහම් විශාල ලෙස වලි කෑවේද මහාවංශය බොරු බව ප්‍රකාශ කිරීමටය.

සීගිරියේ සිංහ රුවේ නියපොතු සිංහයෙකුගේ නොව දෙමළ රාවණාගේ ගුරුලාගේ පාදයේ නියපොතු යයි කියන තරමට රාවණාවාදීහු  බලවත් වී ඇත.

දේවානම් පියතිස්ස සිංහල නොව දෙමළ දේවානම් පියතිස්සම් බව වැනි ඉතිහාසය විකෘති කිරීම් ඇතැම් ඉතිහාසයින් කරන්නේ  ද්‍රවිඩ බෙදුම්වාදීන්ගේ  අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගැනීමේ චේතනාවෙනි.

ඉතා නිරවුල්, අසංකීර්ණවූ අපේ ලිඛිත සහ වාචික  ඉතිහාසය අවුල් කිරීමට මේ පුරා විද්‍යාඥයා සහ නොයෙක් බෙදුම්වාදීන්  කටයුතු කරත්.

බෙදුම්වාදීන්ගේ තර්කය වන්නේ පෘතුගීසින් එන විට යාපනයේ සිටියේ දෙමළ රජෙක් බවත් ඉංග්‍රීසින් යනවිට ඔවුන් විසින් උතුරේ දෙමළ පාලනයක් නැවත නොපිහිටුවීමත්, ඔවුනගේ දෙමළ රාජ්‍යයේ නොකැඩුනු පුරුක ගැලවීම සිදු කලේ යුරෝපා අධිරාජ්‍ය වාදීන් නිසා (1505 සිට 1948 දක්වා), එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් උතුර (සහ නැගෙනහිර) දැන් නැවතත් දෙමළ ජනයාගේ පාලනයට ලබා දිය යුතු බවයි.

නමුත් පැරණි ඉතිහාස ග්‍රන්ථ පවසන්නේ පෘතුගීසින් ඒමට පෙර කාලයේ උතුර සැමදා පාලනය කලේ සිංහල රජවරුන් බවයි – කෝට්ටේ හෝ මහනුවර රජවරු.  යාපනයේ යම් දෙමළ පාලනයක් වී නම් (සංකිලි වැනි) ඔවුහු මෙම සිංහල රජවරුන්ගේ යුව රජුන් වූ බවයි. 

ආර්ය චක්‍රවර්ති මෙසේ සිංහල රජුට යටත්වූ යුව රජෙක්ව සිටියාද නැද්ද යන්න පැහැදිලි නැත. එසේ විය හැක. කෙසේ වෙතත්, සිංහල සපුමල් කුමරා ඔහුව පරාජය කළේය. මේ කුමරාගේ පියා කෝට්ටේ 6වෙනි පරාක්‍රමබාහු රජය. මව  කීරවැල්ල පරම්පරාවේ කුමරියක් බවත් ඉතිහාස ග්‍රන්ථ දක්වයි.

රුහුණු සරසවියේ ඉතිහාසය පිලිබඳ හිටපු මහාචාර්ය, කීර්තිමත් ඉතිහාසඥ, සිරිමල් රණවැල්ල පවසන්නේ මෙතෙක් ඉදිරිපත් කරන ලද සාක්ෂිවලින් පැහැදිලි වන්නේ අනුරාධපුර යුගයේ ආරම්භයේ සිට මහනුවර යුගයේ අවසානය දක්වා වූ දීර්ඝ ඓතිහාසික කාලපරිච්ඡේදයේ කිසිම අවස්ථාවක යාපනය අර්ධද්වීපයේ හෝ ඒ අවට ස්වාධීන ද්‍රවිඩ රාජ්‍යක් නොපැවතී බවයි.

කතරගම, දැඩිමුණ්ඩ, සමන්, අයියනායක යනු සිංහල දෙවි වරුය. එම දෙවි වරුන් අප මහත් භක්තියෙන් පුදමු. කතරගමද (හෙළ, මහසෙන් ‘රජුගේ’ පුනරුප්පත්තිය)  දෙමළ දෙවි කෙනෙක් බව පෙන්වීමට බොහෝ උත්සාහයන් දරත්.  මෑතක ඒ බව සනාථ කෙරෙන චිත්‍රපටයක්ද සෑදුනි.

පසුගියදා කතරගමට දිගින් දිගටම පහර දුන්නේ ප්‍රසිද්ධ සිංහල යු ටියුබ් කරුවන් දෙදෙනෙකි. ඔවුන්ගේ උත්සහයන්හි මල් පලගැන්වීමක් වස් අද කතරගම හිස්ය. වෙළදාම් අඩු වීමෙන් කතරගම බොහෝ කඩ සාප්පු වැසි යන තත්වයක් ඇත. පුජාවට බැතිමතුන් දෙන මුදල් කපු මහතා තියා ගන්නා බව සැවොම දනිත්. එය මහ ලොකු ප්‍රශ්නයක් නොවේ. මේ පිළිබඳව වයස 80 පසු කල ඉතා වයස්ගත කපුමහතා කපටි ලෙසින්  සිය යු ටියුබ් මැදිරියට ගෙන්වා එක් යු ටියුබ් කරුවෙක් ඔහුව ඉතා අපහසු තත්ත්වයට පත්වන ලෙස ප්‍රශ්ණ ඇසීය. එය සදාචාර සම්පන්න නොවේ. පසුව එම කපු මහතාට තාවකාලිකව සිර බත් කෑමට පවා සිදුවූ බව අසන්න ලැබුණි. කතරගම පුද පඬුරු පිළිබඳව අදාළ යු ටියුබ්කරුවන් දෙදෙනා එම ස්ථාන ආරක්ෂා කිරීම, රැක ගැනීමේ අවශ්‍යතාවය ගැන නොසිතා හුදු විව්ස් ලබා ගැනීමේ අදිටනින් වැඩ සටහන් මෙහෙයවා  කතරගම ‘මරා දමා’ ඇත. කතරගම යන බැතිමතුන්ගේ විශාල අඩුවක් දැන් දක්නට ලැබේ.

හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් දේවස්ථානවල එක්වෙන දැවැන්ත මුදල් කන්දරාවන් පිළිබඳව ඔවුන් යු ටියුබ් වැඩ සටහන් නොකරන්නේ, ඒවා ගැන පරීක්ෂණ නොපවත්වන්නේ, ඒවා කිරීම පිළිබඳව ඔවුන් තුල ඇති බිය නිසාද?

සිංහලයන් වශයෙන් අපගේ උරුමය අනන්‍යතාවය අපට ලැබී ඇත්තේ වසර 2,500කට අසන්න අපේ   ප්‍රෞඩ ඉතිහාසයෙනි.  මේ අසත්‍ය ඉතිහාස කථා නිසා අද එය ලෝක වාසීන්ගේ පවා සැකයට භාජනය වෙමින් පවතී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress