විජය ඉතිහාසය පොතින් ගිලිහී යාම
Posted on July 28th, 2025
චානක බණ්ඩාරගේ
මහාවංශය සඳහන් කරනුයේ – පිරිනිවන් මංචකයේ හොත්තාවූ බුදුන් වහන්සේ ශක්‍රයා අමතා ‘සිංහබා පිත් තෙල විජය කුමර අනගත සත් සියයක් පිරිවර ඇතිව ලාට රටින් ලක්දිව් බැසේය. දේවේන්ද්‍රය, මාගේ සස්න ලක්දිව්හි පිහිටන්නේය. එහෙයින් පිරිවර සහිත උහුද ලංකාවද මොනවට රකුව’ යි වදාළ සේක.”
මහාවංශයට අනුව සිංහලේ රාජ්‍යය බිහි වූයේ මෙයට වසර 2507 කට පෙර – ක්‍රි පු 498) උතුරු ඉන්දියාවේ සිංහපුර, වංග දේශයේ, ලාට රටේ (අද උතුරු බෙංගාලයේ – බංග්ලාදේශයේ) සිටි විජය කුමරුගේ ශ්‍රී ලංකාවට (තම්බපන්නියට) වූ ආගමනයෙනි.
‘සිංහළයේ’ (දැන් ශ්‍රී ලංකාවේ) ප්‍රාරම්භකයා, විජය, ඉන්දියානුවෙකි (බෙංගාලිකයෙකි).
1972 පමණ වනතුරු ශ්‍රී ලංකා ඉතිහාසය මේ රටේ සියළු පාසැල් සිසුනට නිවැරදිව ඉගැන්විණි. විජයාගමනය ශ්‍රී ලංකා ඉතිහාස පොත් වල ඉතා ප්‍රබලව, ඉහළින් ඉගැන්වූ පාඩමකි.
නමුත් අද?
අද 6, 7, 8, 9 සහ 10 ශ්‍රේණි වල ළමුන් සඳහා වන ඉතිහාසය පෙළ පොත් 5ක් රජය විසින් මුද්‍රණය කර නොමිලයේ බෙදා හරිනු ලැබේ. මේ කිසිම පෙළ පොතක විජයාගමනය විස්තර නොවේ.
6 ශ්‍රේණිය පෙළ පොත (සංස්කාරක මණ්ඩලය – හඟුරන්කෙත ධීරානන්ද හිමි, මහාචාර්ය/පුරාවිද්‍යඥය රාජ් සෝමදේව, පත්මසිරි කන්නංගර, චන්දිමා ධර්මපාල) පමණක් විජයාගමනය ඉතාම සැකෙවින් මෙසේ පවසයි –
33වෙනි පිටුව – විජය නමින් හැඳින්වෙන කුමරෙකු ……. ඉන්දියාවේ සිට පැමිණ මේ රටේ පදිංචි වූ බව ඉතිහාසයේ සඳහන්ය. මේ බව පැහැදිලිව විස්තර වන්නේ ……. මහාවංශය නම් වූ වැදගත් ඓතිහාසික මුලාශ්‍රයෙනි.”
විජය ‘නමින්’ , මහාවංශය ‘නම්වූ’ වදන් වලින් සිසු දරුවාගේ මනසේ විජය, මහාවංශය පිළිබඳව අවිශ්වාශයක් ඇති කරවයි. මෙය උවමනාවෙන්ම සිදු කර ඇති දෙයක් විය හැකියි.
අප රටේ වැදගත්ම ඉතිහාස සංසිද්ධිය – විජයාගමනය, වර්තමාන පාසැල් සිසුන්ගෙන් මුළු මනින්ම වසන් කර ඇත.
විජය සඟවා, ශ්‍රී ලංකා ජාතියේ නිර්මාර්තෘ වරයා ‘හෝමෝ සපියෙන්’ යයි නුතන ඉතිහාසය පෙළ පොත් පාසැල් ළමුන්ට උගන්වයි.
මේ පෙළ පොත් දැන් ඉතිහාසය පාඩම් වලින් ඉගැන්වීමට උත්සහ කරන්නේ අපේ ආදී මුතුන් මිත්තා විජය නොව අප්‍රිකාවෙන් (උගන්ඩාවෙන්?) මෙහි වසර ගණනාවකට පෙර පා ගමණින් ආ හෝමෝ සපියෙන් බවයි.
හෝමෝ සපියෙන් තම ජාතියේ නිර්මාර්තෘ බව ශ්‍රී ලංකාව හැර ලොව වෙනත් කිසිදු රටක් සිය පාසැල් දරුවනට නොඋගන්වයි.
වෙනත් රටවල් මෙවැනි මෝඩ කථාවලට සිනාසෙනවා ඇත.
පාසැල් සිංහල පොත් වලින් විජයට දුන් තැන හෝමෝ සපියෙන්ට ලබා දුන් බව පෙළ පොත් 6 (සහ 7, 10) සංස්කාරක මහාචාර්යවරයා/පුරාවිද්‍යඥයා ඉමහත් සාඩම්බරයෙන් පවසා ඇත.
මොවුන් පෙන්වීමට උත්සහ කරන්නේ මේ රටේ අතීත ශ්‍රී විභූතිය ඇරඹුණේ විජය/මහිහින්දාගමනයෙන් නොව හෝමෝ සපියෙන් වරුන්ගේ පැමිණීමෙන් බවයි.
බෙදුම්වාදීන් කියන්නේ මේ ආදී ශ්‍රී ලාංකේය හෝමෝ සපියෙන් වරුන් ද්‍රවිඩයන් බවය.
ඉතිහාසය පෙළ පොත්ද ඇතැම් තැන්වල ව්‍යංගාර්ථයෙන් ළමා මනසට ධාරණය කිරීමට උත්සහ කරනුයේ මේ රටේ මුල් වැසියන් ද්‍රවිඩයන් බව හා සිංහලයාගේ සම්භවය විජය නොව ද්‍රවිඩ විය හැකි බවය.
සිරිමා බණ්ඩාරනායක රජය 1970 – 1975 පමණ දක්වා කාලය ප්‍රබලව ඉදිරියට ගෙන යා හැකි වුයේ එම සමගි පෙරමුණු රජයේ කොටස් කාරයන් වූ ලංකා සමසමාජ පක්ෂය සහ කොම්යුනිස්ට් පක්ෂය නිසායි. එම රජයේ ආධිපත්‍යය මෙම පක්ෂ දෙකේ මහ මොළ කරුවන් යයි හැඳින්වූ NM, කොල්වින්, ලෙස්ලි, විවියන්, SA වික්‍රමසිංහ, පීටර් කේනමන් වැන්නන් හෙබ වුහ. මේ මාක්ස්වාදීන් මේ රටේ බහුතරය වූ සිංහලයාගේ අයිතීන් වෙනුවෙන් සටන් කල කොටසක් නොවුහ.
මේ රටේ හීවූ බහුතර මාක්ස්වාදීහු එසේය.
සමගි පෙරමුණේ මාක්ස්වාදීහු බොහෝ හඹා ගියේ රටේ සුළු ජාතික චන්දයි. 1947 මැතිවරණයෙන් NM විරුද්ධ පක්ෂයේ නායකයා වුයේ ලංකා සම සමාජ පක්ෂය ලැබූ අධික සුළු ජාතික චන්ද නිසාය.
එවන් වාතාවරණයක, එවකට රටේ අධ්‍යාපන ඇමතිව සිටී බද්යුදීන් මහමුද්ට 1972දී පාසැල් විෂය මාලාවෙන් සත්‍ය ශ්‍රී ලංකා ඉතිහාසය ඉගැන්වීම ඉවත් කිරීම එතරම් අපහසු කාර්යයක් නොවීය. ඔහු එවැන්නක් කළේය කියා සිරිමා බණ්ඩාරනායක නොදැන සිටියාද විය හැක.
මෙම ලියුම්කරු දන්නා පරිදි පාසැල්වල නැවත ඉතිහාසය ඉගැන්වීම ආරම්භ වුයේ 1994 පමණය (මේ දින වකවානු නිවැරදිම ඒවා නොවිය හැකියි).
1995 මැද සිට 2015 දක්වා සමය සිංහලයන් තම සිංහලත්වය, බෞද්ධත්වය අත් හැර ‘ශ්‍රී ලාංකිකයන්’ වෙමින් සිටී සමයයි.
මේ කාලයේදී බොහෝ පෞද්ගලික විද්‍යුත් නාළිකා, බෞද්ධ භික්ෂුන් වහන්සේලා පවා විජයට ඉතා සහාසික ලෙස තදින් පහර දුන්හ.
ඒ වෙනුවට රාවණා ප්‍රචලිත කළහ.
නමුත් කළින්, ‘විජය’ යන නාමය රටේ ඉතා ප්‍රචලිත, වැදගත් එකක් සේ සැලකිණ. 1900 – 80 දශකවල දෙමව්පියන් ඉතා ආශාවෙන් තම පුතුන්ට විජය යන නම ලබා දුනි (උදා; විජයානන්ද දහනායක, විජය මළලසේකර, විජය කොරයා, විජය කුමාරණතුංග, විජය නන්දසිරි, විජය ධර්ම ශ්‍රී ආදී).
2010 පමණ වනවිට විජය වනාහි හිතුවක්කාරී, සල්ලාලයෙක්ය, ඔහු ඉන්දියානුවෙක්ය; අප ඔහුගෙන් පැවතෙනවා යයි පැවසීම අපට මදි කමක්ය, ඒ වෙනුවට අප රාවණා ගෙන් පැවතෙන්නෝ යයි කියමු යන මතයක් රටේ මුල් බැස තිබුණි. මේ වන විට දෙමව්පියන් තම පුතුන්ට විජය යන නොදමන තරමට විජයව සිංහල සමාජයට එපා කර තිබුණි.
ඉතිහාසය යනු අප කැමති විදියට අත් හල යුතු/ගොඩ නැගිය යුතු කථා වස්තුවක් නොවේ. ඉතිහාසයේ සමහර සිද්ධීන් අප අකමැති වුවත් අපට ඒ නිසා එම ඉතිහාසය බැහැර කල නොහැක. උදා: නවීන ඕස්ත්‍රේලියාව ගොඩ නැගුවේ බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරන ලද සිරකරුවන්ය. එය බොරුවක්ය කියා ඕස්ත්‍රේලියානුවන් නොකියයි. ඔවුන්ගේ මුල් සුදු ජාතික මුතුන් මිත්තන් ගැන ඔවුන් අදත් ආඩම්බර වෙත්. ඒ මුල් අය සිරකරුවන් වුවා කියා ඔවුන් ලැජ්ජා නොවෙත්.
ඇමරිකානුවන් සහ ඕස්ත්‍රේලියානුවන් ඔවුන්ගේ නව සුදු රටවල් ගොඩ නඟන මුල් කාලයේදී දස දහස් ගණනින් රතු ඉන්දියානුවන්/ඇබරජින්වරුන් මරා දැමුහ. මේ බව ඇමරිකාවේ සහ ඕස්ත්‍රේලියාවේ ඉතිහාසය පොත් පාසැල් දරුවන්ගෙන් වසන් නොකරත්. ඔවුන්ගේ ඒ දුෂ්ට අතීතය ඔවුන් ඒ අයුරින්ම වර්තමාන පාසැල් සිසුන්ට කියා දෙත්.
1995 – 2015 සමයේ සියළු රටවැසියන් සිය ආවේනික ජාතිය අමතක කර (සිංහල, දෙමළ, මුස්ලිම්) ‘ශ්‍රී ලාංකික’ විය යුතුයයි කියන රාජ්‍ය ප්‍රතිපත්තිය තදින් මුල්බැස තිබුණි. ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවක් රට වැසියන් තුල ගොඩ නැගීම හොඳය; නමුත් එම ක්‍රියාදාමය මුළු රට පුරාම එක විදියට ක්‍රියාත්මක විය යුතු එකකි – එක ජාතියකට පමණක් සීමා නොවිය යුතුය.
සෑම ජාතියක්ම එක ලෙසින් එම ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාව වැළඳ ගත්තානම් කමක් නැත; නමුත් එවැන්නක් සිදු වුයේ නැත.
දකුණේ සිංහලයන් සිය සිංහල බෞද්ධත්වය දෙවෙනුවට මෙන් තබා මේ නව ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවය ඉමහත් භක්ත්‍යාධරයෙන්, ආදරයෙන් වැළඳ ගත්හ. සුළු ජාතින් තුල, විශේෂයෙන්ම උතුරේ, එවන් ආසාවක්/උද්යෝගයක් තිබුනේ නැත.
සිංහලයෝ ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවය ආශාවෙන් වැළඳ ගැනීමට යාමෙන් සහ සුළු ජාතින් එය ඒ තරමින් වැළඳ නොගැනීමෙන් සිංහලයෝ තමනට ආවේනික වූ ජාතිකත්වය (‘සිංහල’’, බෞද්ධ’) මොට කර ගත්හ. මෙහි අවාසනාවන්ත ප්‍රථිපල දැනටත් දක්නට ලැබෙතත් වඩා බරපතල ප්‍රථිපල විද්‍යාමාන වනුයේ තවත් වසර 25ට පමණ ඔබ්බෙන් යයි මෙම ලියුම්කරු විශ්වාස කරයි.
2015 යහපාලන රජය ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ සම්භවය ඇති රටක් නොවේය යන සංකල්පය රට තුල ඇතිකළේ ඇතැම් සිංහල බෞද්ධ දේශපාලනඥයන්ගේ අනුදැනුම ඇතිවය. කාදීනල්තුමා තම මතය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔවුහු නිහඬ විය. එම රජය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වෙනි වගන්තියෙන් රජයන් විසින් බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදී බෞද්ධාගම ආරක්ෂා කිරීම සහ රැක ගැනීම කල යුතුය යන ප්‍රතිඥාව ඉවත් කිරීමට සලකා බැලු බව නොරහසකි. මෙයද බොහෝ දුරට ව්‍යවර්ථ වුයේ කාදිනල්තුමා තම මතය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය. එම රජයේ උත්සාහයට මහානායක හිමි වරුන් නම් දැඩි විරෝධයක් නොපෑහ.
නැවතත්, සන්හිඳියාව යටතේ සිංහලයෝ තම සිංහල බෞද්ධ සංස්කෘතිය වර්ධනය කරනවා වෙනුවට ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවය ප්‍රගුණ කිරීම වෙනුවෙන් ඇප කැපව වැඩ කළහ. බොහෝ දෙනෙක් දෙමළ ඉගෙන ගත්හ. කෝවිල් ගියහ. දෙමළ චිත්‍රපටි, සිංදු රස විඳින්නට වඩාත් යොමු වුහ. දෙමළ ක්‍රමයට ඇඳුම් (සරම්, සාරි, පොට්ටු, කරාඹු) ඇන්දහ/පැලඳුහ. දෙමළ/මුස්ලිම් කෑම සෑදීමට/අනුභවයට, දෙමළ නෘත්‍යනය ඉගෙනුමට වඩාත් යොමු වුහ. දෙමළ/මුස්ලිම් අය තම සමීප මිතුරන්/අසල්වැසියන් බවට පත් කර ගත්හ. තම විවාහ සහකරු/සහකාරිය ලෙස පෙර නොවූ විරු ලෙස සිංහල නොවන ද්‍රවිඩ/මුස්ලිම් අයව තෝරා ගත්හ.
දකුණේ සිංහලයෝ ද්‍රවිඩ/මුස්ලිම් සංස්කෘතින් හා සමීපවීම වීමට උත්සාහ කරද්දී උතුරු, නැගෙනහිර අය සිංහල කථා කිරීම, බෞද්ධාගම ගැන, සිංහල සිරිත් විරිත් ඉගෙනුම ගැන සුවිශේෂ උනන්දුවක් දැක්වූ බවක් අසන්නට නොලැබුණි.
දෙමළ කථා කරන සුළු ජාතින් (විශේෂයෙන්ම උතුරේ ද්‍රව්ඩ) ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවය ප්‍රගුණ කිරීම/වැළඳ ගැනීමට වඩා ඔවුන්ටම ආවේනිකවූ ජාතිකත්වය තව තවත් වර්ධනය කිරීම සහ ඒ පිලිබඳව වූ අභිමානයෙන් කටයුතු කිරීමට සිය අවධානය තීව්‍ර කළහ. එය වඩා වැදගත් බව සලකා ඒ අනුව ඔවුහු කටයුතු කළහ. මහාවීර දිනය කෙසේ හෝ සැමරීමට ඔවුහු යුහුසුළු වුහ. ද්‍රවිඩ බෙදුම්වාදීන් සිය ඒකිය රාජ්‍ය සංකල්පය අත්හල බවක් පෙනුනේද නැත. සංහිඳියා කාලයේ කිසිදා නොතිබුණු අවාසනාවන්ත මුස්ලිම් අන්තවාදයක්ද මේ රටේ බිහි විය.
දකුණේ සියළු දේශපාලන පක්ෂ ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවය ප්‍රවර්ධනය ගැන කථා කළහ. ඔවුන්ගේ මතය අනුව සංහිඳියාව උදෙසා වෙනස් විය යුත්තේ සිංහලයා පමණක්ද? උතුරේ ද්‍රවිඩයන් පෙබරවාරි 4 වෙනිදා ජාතික කොඩිය සිය නිවසේ ප්‍රදර්ශනය නොකිරීම කෙසේ වෙතත් නොවැම්බර් 26 වෙනිදා මහ ඉහලින් මහා වීර දිනය සැමරීම අතිශයින් ප්‍රශ්ණ සහගතය. සංහිඳීයාවාදීහු මේ පිළිබඳව නිහඬය.
සිංහලයා වෙනුවෙන් රටේ කිසිම සිංහල යයි කියා ගන්නා දේශපාලන පක්ෂයක් කථා නොකරයි (පොහොට්ටුව, ශ්‍රී ලංකා නිදහස්, එජාප, සජබ, ජානිපෙ, ජවිපෙ). මෙයට හේතුව එසේ කළහොත් ඔවුනට දෙමළ චන්ද නොලැබේ යයි යනුවෙන් ඔවුන් තුල ඇති බොරු බියයි. මේ අය දිනා මැතිසබයට යන්නේ සිංහල චන්ද වලිනි. නමුත් ඔවුන් සිංහලයාගේ ආවේනික ප්‍රශ්ණ නිරාකරණය කිරීම වෙනුවෙන් කරන කිසිම දෙයක් නොමැත.
උතුරේ සහ නැගෙනහිර සිංහලයාට ජීවත්වීම අකැප ඇයි? මේ ගැන ඉහත පක්ෂ මුනිවත රකිති.
ශ්‍රී ලංකාවේ අදත් සිංහල බෞද්ධයන් 70% හෝ 75% ඇතැයි අප පාරම් බාමූ. මෙය අප විසින් අපවම මුළා කර ගැනීමකි. මේ රටේ අද බුද්ධාගම පමණක් අදහන සිංහල බෞද්ධයන් 62%ක් ඇත්නම් එය පුදුම විය යුතු කරුණකි. රටේ සිංහලයාගේ සංඛ්‍යාව අඩු වීමත්, සුළු ජාතීන්ගේ සංඛ්‍යාව වැඩි වීමත් මේ ප්‍රතිශත අවපාතයට ප්‍රධාන හේතුව වේ.
සුළු ජාතීනට වඩා අඩුවෙන් සිංහලයා දරුවන් සෑදීම, විවිධ ආකාරයෙන් දකුණු ඉන්දියාවෙන් හොරෙන් මෙහි පැමිණෙන්නන්, යුද්ධයෙන් පසු (2009) මේ රටට හොරෙන් පැමිණ පුරවැසිකම් ගත් පකිස්ථානුවන් වැන්නන්, අද ලක්ෂ ගණනින් (විසා ඇතිව හෝ නැතිව) මෙහි සිටින චීනුන්, රුසියානුවෝ, යුක්රේන ජාතිකයෝ මෙහි සිංහල ප්‍රතිශතය අඩු කිරීමට හේතු සාධකය.
අද කොළඹ නගර සභා සීමාව තුල (කොළඹ 1 -15) වැඩියෙන්ම කථා කරන භාෂාව දෙමළයි (දෙමළ සහ මුස්ලිමානුවන් එකතුව කථා කරන). මේ සීමාව තුල අද සිංහලයන් 35% හෝ 40%ක් ඇද්ද?
1960 දශකයේ කොළඹ නගර සභා බල ප්‍රදේශය තුල සිංහලයන් 70%ක් වත් සිටින්නට ඇත.
මේ යන විදියට, මේ සියවස අවසන් වන විට මුළු රටේම මේ තත්ත්වය විය නොහැකිද (සිංහලයන් 35% හෝ 40%)?
‘මේ සිංහල අපගේ රටයි’ යනුවෙන් එදා අභිමානයෙන් අප පාසැලේදී දේශානුරාගී ගී ගැයුවෙමු. අද පාසැල් සිසුනට ශබ්ධ නඟා එසේ ගැයීමට ඉඩක් ඇද්ද?
සිංහලත්වය ඉහළින් ඔප් නංවන ගී අද ගුවන් විදුලියෙන්/රූපවාහිනී නාළිකා වලින් ප්‍රචාරය නොවේ?
දෙමළ මාධ්‍යයෙන් මොන යම් දේ ප්‍රචාරණය වේ දැයි අප දනීද? මේ ගැන සොයා බැලීමක් වේද?
බුදු රජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරන විට මෙහි සිටියේ යක්ෂ, දේව, නාගයෝය (කුවේණි යක්ෂය). මේ තුන් කොටස හෙළයන්ය. වසර 40,000ට පෙර සිට මොවුන් මෙහි සිටී බවට සාක්ෂි හමු වී ඇත.
මේ හෙළයන් තම්බපන්නියෙන් මෙරටට ගොඩ බට විජයගේ සිංහ කාණ්ඩය (සිංහයෙකුග් මෙන් නිය වැඩි තිබු සිංහබාහු රජතුමාගේ පුතා) සමඟ මුසුවී සිංහල ජාතිය බිහි විය.
විජය සහ කුවේණිගේ දරු දෙදෙනා (ජීවහත්ත සහ දිසාලා) ගෙන් වැදී පරපුර පටන් ගැණිනැයි මහාවංශය දක්වයි. මේ දෙදෙනා විජයගෙන් පසු රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා සටන් නොකළහ; දරුවන් වැද, වැද්දන් ලෙසම දෙදෙනා මැරී ගියහ.
විජයගෙන් රජුන් 4 දෙනෙක්ගෙන් පසු බිහිවූ දෙවානම් පියතිස්ස රජු සමයේ මේ රටට වැඩම කළ මිහිඳු මහ ථේර – ඒ දෙසංයෝගයෙන් මුළු ලොවම විශ්මයට පත් කළ ශ්‍රේෂ්ට සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය මෙහි බිහි විය.
එය ගම, වැව, පංසල මත බිහි වු දැහැමි, උසස් සංකල්පයකි. අදද එය සිංහල ගම්වල ක්‍රියාත්මකය.
මේ ශ්‍රේෂ්ට සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය අවලංගු/මොට කිරීමට කුමන්ත්‍රණකාරීන් විවිධ නව ඉතිහාසයන් මවමින් සිටිත්. දෙවන පෑ තිස්/ මිහිඳු සුසංයෝගයට පෙර ලොව වෙනත් කිසි තැනක නොතිබු අති ශ්‍රේෂ්ට ඉතිහාසයක් මෙහි විය යන බොරුව ඔවුන් මවන්නේ මේ නිසාය.
විජය ඉතිහාසය පොතින් අතුගා දැමීමද මේ උපක්‍රම කරුවන්ගේ වෑයමක් විය.
කළින් කී පරිදි, මෙයින් උපක්‍රමකරුවන් ජය ලැබුහ.
කළින් ලිපි වලින් පැවසූ පරිදී, බොහෝ සිංහලයෝ මේ භායනක, මායා කරුවනට හසුවී ඇත.
2000න් පසු රාවණා සංකල්පය මේ රටේ පුදුමාකාර ලෙස ව්‍යාප්ත වී ඇත.
සිංහලයා බිහිවුයේ විජයගෙන් නිසා, විජයට පෙර සිටී රාවණා සිංහල විය නොහැක. ඔහු ඇත්තටම සිටියේ නම් හෙළයෙකි (කුවේණි, බලංගොඩ මානවකයා මෙන්).
අප එසේ කීවත්, ජාත්‍යාන්තරය එය පිළි නොගනී.
රාවණා උග්‍ර හින්දු භක්තික ද්‍රවිඩයෙක් වශයෙන් (ශිව දෙවියන්ගේ මුරකරු) ලෝක ඉතිහාසයේ දැනටමත් ලියැවී හමාරය. සියළුම ලෝක ඉතිහාසය පොත් පාහේ කියන්නේ එයයි.
රාවණා දෙමළ දෙවි කෙනෙක් ලෙස ඇතැම් ශ්‍රී ලංකා හින්දු කෝවිල් දැන් ඉහළින් සමරයි. කළින් බෞද්ධ ස්ථුපයක් ව තිබුනා යයි කියන අද ත්‍රිකුණාමලයේ කොනේස්වරන් කෝවිල මුළුමනින්ම රාවණාට කැපවී ඇත. එහි, මුහුදට මුහුණ ලා ඉදි කර ඇති දැවැන්ත දේව පිළිමය රාවණාය.
රාවණා රූප අපේ පන්සල්වල නැත. නමුත් කළින් කී පරිදි, දෙමළ කෝවිල් වල ඇත.
රාවණා දෙමළ යන මේ ලෝක මතය දැන් වෙනස් කිරීම ඉතා අපහසුය. ඒ බෙදුම්වාදීන්ගේ දක්ෂකමත් සිංහලයාගේ අදක්ෂකම සහ අළසකම නිසාත්ය.
කුවේණි, පණ්ඩුකාභය, දේවානම් පිය තිස්ස ද්‍රවිඩ යයි කීමට උපක්‍රමකරුවන් සැදී පැහැදී සිටිත්.
ඉන්දියානුවෝ අද Ramayana Trail බැලීම සඳහා වැළ නොකැඩී ශ්‍රී ලංකාවට පැමිණෙති. මෙහි විශාල වරදක් මෙම ලියුම්කරු නොදකී.
මන්ද, ශ්‍රී ලංකාවාසී අපට රාවණා සත්‍ය චරිතයක් නොවේ. – මහාභාරථය නමැති ප්‍රබන්ධයේ රාමායනය යන පරිච්චේදයේ එන එක් හුදු චරිතයක් පමණි.
ඉන්දියානු සංචාරකයන් අපට ඉතා අවශ්‍ය විදේශ විනිමය රැගෙන එති.
රටේ ජාතික ආරක්ෂාවට පසු අන් සියළු දේට වඩා තමනට වැදගත් රටේ ඉතිහාසය යයි ඇමරිකානුවන් පවසයි. එය දැනුවත්ව විකෘති කිරීම එම රටේ සිර ගත වන වැනි වැඩකි. බොහෝ දියුණු යුරෝපා රටවල්ද තම ඉතිහාසය විකෘති කිරීමට කිසිසේත් ඉඩ නොදේ. උදාහරණයක් ලෙස 2වෙනි ලෝක මහා යුද්ධයේදී නාට්සි වරුන් විසින් යුදෙව් සංහාරයක් නොකළේය යයි කියන්නෙකුව සිර ගත කිරීමේ දැඩි නිතී යුරෝපයේ බොහෝ රටවල ඇත. ඕස්ත්‍රේලියාවට ඇත්තේ ඉතාම කෙටි ඉතිහාසයකි. ඔවුන් එය දිවි හිමියෙන් රකිති. සියළු පාසැල් ළමුන් 10 ශ්‍රේණිය දක්වා ඕස්ත්‍රේලියානු ඉතිහාසය ඉගෙන ගැනීම අනිවාර්යය.
අප?
ඉතිහාසය සමඟ පාපන්දු ගසමින් සිටිමු.
(සත්‍ය) ඉතිහාසය ඉගෙන ගැනීම වැදගත් වන්නේ ඇයි?
ඉතිහාසය යනු අතීතය පිළිබඳ දැනුම සහ අධ්‍යනයයි. එය අතීතයේ කතාව සහ තනි/සාමූහික මතකයේ උල්පතයි.
ඉතිහාසය යනු අප කවුද, අප පැමිණෙන්නේ කොහෙන්ද සහ අප ගමන් කරන්නේ කොතැනටද යන්න විභවයෙන් අපට හෙළි කරයි.
ඉතිහාසය අධ්‍යනය කිරීමෙන් අතීතයේ සිදුවීම් අද පවත්නා ආකාරයට සකස් වී ඇති හැටි තර්කානුකූලව තේරුම් ගැනීමට අපට හැකිවේ.
ඓතිහාසික සිදුවීම් පරීක්ෂා කිරීමෙන්, අප සැමට ඉතා වටිනා පාඩම් ඉගෙන ගත හැකිය, අතීත වැරදීම් වළක්වා ගත හැකිය. අපගේ පෞද්ගලික සහ වෘත්තීය සංවර්ධනය යන දෙකටම ධනාත්මක ලෙස බලපාන දැනුම ලබාදී , ඒ අනුව තීරණ ගැනීමේ හැකියාව ඉතිහාසය අපට ලබාදේ.
සත්‍ය ඉතිහාසය ඉගැන්වීම මඟින් රටේ ජාතින් අතර සුහද බව, මිත්‍රත්වය වැඩි දියුණු කර ගත හැක.
සිංහල සිසුන් මේ රටේ ද්‍රවිඩ, මුස්ලිම් ඉතිහාසය, ද්‍රවිඩ/මුස්ලිම් ජාතික වීරවරයන් ගැන ඉගෙන ගත යුතුය.
අවසානව, ඉතිහාසයට ස්තුති වන්ත වෙන්න අපට සංකීර්ණ ප්‍රශ්ණ, උභතෝකෝටික ගැටළු ඉතා හොඳින් හඳුනා ගෙන/තේරුම් ගෙන, ඒවාට නිවැරදි විසඳුම් සොයා ගැනීමට හැකියාව ලැබේ.
මේ ලියුම්කරු සිංහල සංවර්ධන සංවිධානයේ (සංස්ථාපිත) සභාපතිවරයාය. sinhalasanvardhanasanvidhanaya@gmail.com