එක්සත් අරාබි එමීර් රාජ්‍යයේශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමයේ (SLITPAUAE)2025සම්මාන රාත්‍රියේදී ශ්‍රී ලාංකික තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට උපහාර
Posted on July 3rd, 2025

ප්‍රවෘත්ති  නිවේදනය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය (SLITPA) විසින් ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ සහාය ඇතිව සංවිධාන කළ  SLITPA UAE සම්මාන රාත්‍රිය 2025, ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ සහභාගිත්වයෙන් ඩුබායි ක්‍රීක්සයිඩ් හෝටලයේදී පැවැත්විණි. “විශ්වාසය, නවෝත්පාදනය සහ බලපෑම” යන තේමාව යටතේ පැවති මෙම සම්මාන උළෙලේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගතික තාක්‍ෂණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රයට දායක වන ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ කැපී පෙනෙන ජයග්‍රහණ ඇගයීමට ලක් කරන ලදි.

ශ්‍රී ලංකාවේ ජාතික ඩිජිටල් ප්‍රතිපත්තිය සහ රටේ තාක්ෂණික හා ආර්ථික දියුණුවට දායක වීමේදී ඩයස්පෝරාවේ වැදගත් කාර්යභාරය ඉස්මතු කරමින් ප්‍රධාන දේශනය පැවත්වූ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා මෙසේ අදහස් පළ කළේය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් මාධ්‍යයෙන් බලගැන්වූ සමාජයක් සහ තරඟකාරී දැනුම් ආර්ථිකයක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. මහජන සේවාවන් ඩිජිටල්කරණය කිරීම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සඳහා තාක්ෂණය භාවිතා කිරීම, කෘෂිකර්මාන්තය, සැපයුම් සහ නිෂ්පාදන ක්ෂේත්‍රයන්හි ඵලදායිතාව වැඩි කිරීම අපේ ජාතික ඩිජිටල් ආර්ථික උපාය මාර්ගයට ඇතුළත් වෙනවා. වෘත්තිකයන් 150,000 කට වඩා සේවයේ නියැලෙන මෙම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය යටතේ 2027 වන විට වෘත්තිකයන් 300,000 ක ඉලක්කයක් සපුරා ගැනීමට අපි අපේක්ෂා කරනවා. එසේම ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණ බාහිරකරණ, සයිබර් ආරක්ෂණ, ෆින්ටෙක්, AI සහ වෛද්‍ය තාක්ෂණ විසඳුම් සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙසත්, ගෝලීය ඩිජිටල් ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවෙකු  ලෙසත් ස්ථානගත කරමින් සිටිනවා. ”

වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, දක්ෂ නවෝත්පාදන හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව ලබා ඇති කීර්ති නාමය තහවුරු කරමින් ආයෝජක විශ්වාසය සහ දැනුම හුවමාරුව පෝෂණය කරන හවුල්කාරිත්වයන් ගොඩනැගීම රජයේ අරමුණ බවත් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවට හොඳ ප්‍රතිපත්ති පමණක් නොව ශක්තිමත් හවුල්කාරිත්වයන් ද අවශ්‍ය වන බවත්,  ශ්‍රී ලංකාව නවෝත්පාදනය මත පදනම් වූ පාලන ක්‍රමයක්  අනුගමනය කරන බැවින්, රටේ ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් සක්‍රීයව උදව් කිරීමට එක්වන ලෙස අමාත්‍යවරයා එම සංගමයට ආරාධනා කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය අරුෂා කුරේ, ඩුබායි සහ උතුරු එමිරේට්ස් සඳහා ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ඇලෙක්සි ගුණසේකර සහ SLITPA හි සභාපති තිෂාන් ගුණසේකර යන  මහත්ම මහත්මීන් ද රැස්ව සිටි පිරිස ඇමතූහ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තාක්ෂණික අංශය පුරා ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කරන පුද්ගලයින් සහ සංවිධාන කිහිපයක් සඳහා ගෞරව කරමින් මෙම වසරේ සම්මාන ප්‍රදානය කරන ලදී:                       

   ( සම්මානලාභී නාම ලේඛණය ඇමුණුමේ දක්වා ඇත)

• වසරේ ඩිජිටල් භාරකාර වෘත්තිකයා – එක්සත් අරාබි එමීර් රාජ්‍යය (2025): මොහොමඩ් නබීල් සුබෙයාර් මහතා

• ශ්‍රී ලාංකික තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකුගේ විශිෂ්ඨතම ජයග්‍රහණය – එක්සත් අරාබි එමීර් රාජ්‍යය (2025): මෙලික් රාජී බරණසූරිය මහතා

• හොඳම තොරතුරු තාක්ෂණ අධ්‍යාපන වැඩසටහන – එක්සත් අරාබි එමීර් රාජ්‍යය (2025): ට්‍රේනොකේට් විසින් ‘ශ්‍රී ලාංකිකකරණය’

• ක්‍රියාත්මක කරන ලද හොඳම තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතිය – එක්සත් අරාබි එමීර් රාජ්‍යය (2025): බුද්ධික පෙරේරා මහතා

• එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හොඳම ශ්‍රී ලාංකික තොරතුරු තාක්ෂණ සමාගම (2025): ජෝන් කීල්ස් තොරතුරු තාක්ෂණ ආයතනය.

• වසරේ ශ්‍රී ලාංකික තොරතුරු තාක්ෂණ පෞරුෂය – එක්සත් අරාබි එමීර් රාජ්‍යය (2025): කෞමුදි අංජනා විජේගුණසිංහ මහත්මිය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍යයේ තාන්ත්‍රිකයින්, ව්‍යාපාරික නායකයින් සහ ශ්‍රී ලාංකික වෘත්තීය ප්‍රජාවේ සාමාජිකයින් ඇතුළු විශාල විවිධ ප්‍රේක්ෂක පිරිසක් එයට සහභාගි වූහ.

නිත්‍ය සිල්වා

මාධ්‍ය ලේකම්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress