නව ඖෂධ නියාමන අධිකාරි පනත් කෙටුම්පතින් සේනක බිබිලේ ප්‍රතිපත්තිය මරා දැමීමක්‌ – පෙරටුගාමී සමාජවාදී ව්‍යාපාරය
Posted on March 6th, 2015

Courtesy Divaina……

නව ඖෂධ නියාමන අධිකාරි පනත් කෙටුම්පත සේනක බිබිලේ ප්‍රතිපත්තිය පෙන්වමින් එම ප්‍රතිපත්තිය මරා දැමීමට සකස්‌ කළ එකක්‌ බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ දේශපාලන මණ්‌ඩල සභික පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේය.

මේ ඖෂධ ජාවාරම්කරුවන්ට රෝගීන් බිළිදෙන ප්‍රතිපත්තියක්‌ බවත් එහෙයින් එම ප්‍රතිපත්තිය පැරදවීමට සියලු ජනතාව නැගී සිටිය යුතු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ දේශපාලන මණ්‌ඩල සභික පුබුදු ජයගොඩ මහතා පෙරේදා (2 වැනිදා) එම අදහස්‌ පළ කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පුබුදු ජයගොඩ මහතා මෙසේද පැවසීය.

1970 දශකය මුලදී බිබිලේ වික්‍රමසිංහ වාර්තාව හරහා රෝගීන්ව ඖෂධ සමාගම්වල සූරාකෑමෙන් මුදා ගන්නා ප්‍රතිපත්තියක්‌ ඉදිරිපත් කෙරුණා. එම ජාතික ඖෂධ ප්‍රතිපත්තිය නීතියක්‌ බවට පත්කරන පනතක්‌ ගේනවා කියලා වර්තමාන ආණ්‌ඩුව පොරොන්දු වුණා. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේදී ඒක මැතිවරණ පොරොන්දුවක්‌ ලෙසත් ලබා දුන්නා. ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පත පෙබරවාරි 06 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මාර්තු 18 වැනිදා පුළුල් සංවාදයකින් පසුව එය සම්මත කරන බව දින 100 වැඩපිළිවෙළෙත් ලියා තිබෙනවා.

නමුත් අපි ළඟÊතිබෙනවා පෙබරවාරි 02 වැනිදා කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ පනතක්‌. එය පොරොන්දු වූ ආකාරයටම ඖෂධ ප්‍රතිපත්තිය නීතිගත කරන ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පත නෙමෙයි. මේක ඖෂධවල ගුණාත්මකභාවය පාලනය කරන්න අධිකාරියක්‌ පිහිටුවන ජාතික ඖෂධ නියාමන අධිකාරි කෙටුම්පත. මේක ප්‍රතිපත්තිය නෙමෙයි. ප්‍රතිපත්තියෙන් කොටසක්‌. ආණ්‌ඩුව සිංහයෙක්‌ දෙන්න පොරොන්දු වෙලා. දීලා තියෙන්නේ අඩුම ගානේ මීයෙක්‌වත් නෙමෙයි. මී කුණක්‌. දැන් මේ මී කුණ මෙච්චර කල් හංගගෙන ඉඳල 03 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා. 04 වැනිදා හදිස්‌සියේ සම්මත කරගන්න යනවා. ජනතාව අතර නෙමෙයි පාර්ලිමේන්තුවේ වත් සංවාදයක්‌ වෙන්නේ නෑ. 18 වැනිදා සම්මත කරනවා කියපු පනත 04 වැනිදාම සම්මත කරන්න තියෙන හදිස්‌සිය මොකක්‌ද? මේක ජනතාවගෙන් හංගන්නේ ඇයි? හේතුව සේනක බිබිලේ ප්‍රතිපත්තිය ගැන කිය කිය මේ පනත ක්‍රියාත්මක කරන්නේ ඒ ප්‍රතිපත්තියේ අනෙක්‌ පැත්ත නිසා.

සේනක බිබිලේ ප්‍රතිපත්තියේ ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ නාම ලේඛනයක්‌ හැදුවා. මේ පනතේ එහෙම එකක්‌ නෑ. ඖෂධවල මිල පාලනය කරන්න ඖෂධ ආනයනයේ සහ නිෂ්පාදනයේ වගකීම රජය භාර ගන්න යෝජනා කළා. 1870 දශකයේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාව නිර්මාණය කළේ ඒ අනුව. මේ පනතේ රජයේ ඖෂධ නිශ්පාදනය කරන එක ගැන වචනයක්‌ වත් නෑ. මිල පාලනය ගැන තියෙන්නේ වගන්ති 04 යි. මිල පාලනයට කමිටුවක්‌ හදලා තියෙනවා. ඒකෙ බලතල පනතේ දක්‌වලා නෑ. කමිටුව කියන මිලට වඩා වැඩිපුර වික්‌කොත් කරන්න පුළුවන් මොනවාද කියලා නීතියක්‌ නෑ. කමිටුව උපරිම මිල තීරණය කරන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොලේ මිල අනුවලු. ඒක සාධාරණ නෑ. ඇමරිකාවේ බෙහෙතක්‌ විකුණන ඩොලර් ගාණට සමානුපාතික රුපියල් ගණනක්‌ අය කිරීම අසාධාරණයි. 2005 දී එවකට පැවැති ආණ්‌ඩුව ඖෂධවල උපරිම සිල්ලර මිල තීරණය කරන්න නිෂ්පාදන මිලට සමානුපාතිකව මිල සූත්‍රයක්‌ නිර්මාණය කරනවා කිව්වා. මේ පනතේ එහෙම එකක්‌වත් නෑ. මේ පනතට අනුව ඖෂධ මිල පාලනයේ වැඩි වගකීමක්‌ එන්නේ පරිප්පු මිල, සීනි මිලවත් පාලනය කරගන්න බැරුව ඉන්න පාරිභෝගික ආරක්‍ෂණ අධිකාරියට. මේ පනතේ විධිවිධානවලින් නම් ඖෂධ මිල පොඩ්ඩක්‌වත් අඩුවෙන්නේ නෑ. දැනට එකම ඖෂධය විවිධ වෙළෙඳ නාමවලින් තියෙනවා. ඇමොක්‌සිලින් ඖෂධය රුපියල් 3.50 සිට රුපියල් 35.00 දක්‌වා විවිධ මිල ගණන්වලට වර්ග 100 කට වඩා තියෙනවා. එකම ඖෂධයේ විවිධ වෙළෙඳනාම වර්ග සීමා කරන කිසිම වගන්තියක්‌ මේ පනතේ නෑ. සේනක බිබිලේ ප්‍රතිපත්තියේ මූලික පදනම් නෑ විතරක්‌ නෙමෙයි සමහර පදනම් විනාශ කරලා. ඖෂධ නිර්දේශ කරන විට ඖෂධීය නාමය පමණක්‌ ලිවිය යුතුයි කියන එක සේනක බිබිලේගේ ප්‍රතිපත්තියේ මූලික අංගයක්‌. මේ පනතේ 56 වගන්තියට අනුව වෛද්‍යවරයාට ඖෂධ නාමයට අමතරව වෙළෙඳ නාමයත් ලිවිය හැකියි. සංයෝග කළ ඖෂධවල වෙළෙඳනාමය පමණක්‌ ලිවිය හැකියි. වෛද්‍යවරයා ඖෂධ නාමයි ලිව්වම ඒකෙන් තිබෙන හැම වෙළෙඳ නාමයක්‌ම මිලත් සමග දැනුම්දීලා කැමති එක තෝරාගන්න රෝගියාට ඉඩ දෙන්න කියලා මේ පනතේ තියෙනවා. මේක දැනටමත් කෙරෙන එක. පනත කරන්නේ දැනට නීතියට පටහැනිව කරන දේ. නීතිගත කිරීම පාසල්වල මුදල් අය කිරීම ගැන නිකුත් කළ චක්‍රලේඛයෙන් කළෙත් ඕකමයි. මේක සේනක බිබිලේ මරණ පනතක්‌. කෙටුම්පත ජනතාවගෙන් හංගන්නේ ඒකයි.

මේ පනතේ අමතරව තියෙන දේවල්වල මූලිකම එක තමයි ඖෂධ නියාමන අධිකාරිය. අධිකාරිය තුළ ඇමතිට තියෙන්නේ අසීමිත බලයක්‌. 04 වගන්තියට අනුව අධිකාරියේ සාමාජිකයෝ 13 දෙනාගෙන් 10 දෙනෙක්‌ම පත්කරන්නේ ඇමති. ඔවුන් ඉවත් කරන්නත් ඇමතිට පුළුවන්. 05/01 වගන්තියට අනුව අධිකාරියේ සභාපති පත්කරන්නෙත් ඇමති. 10/02 වගන්තියට අනුව සභාපතිට ඡන්ද දෙකක්‌ තියෙනවා. ඒ සභාපති ඇමතිට ඕන විදියට වැඩ කරන්නේ නැත්නම් ඉවත් කරන්නත් ඇමතිට පුළුවන්. මේ විදියට අධිකාරිය ඇමතිගේ රූකඩයක්‌ වෙනවා. අධිකාරියට ඉහළින් තියෙන අභියාචනා මණ්‌ඩලයේ සාමාජිකයෝ 03 දෙනයි. 123/01 වගන්තියට අනුව ඒ 03 දෙනාම පත්කරන්නේ ඇමති. 123/08 වගන්තියට අනුව අභියාචනා මණ්‌ඩලයටත් උඩින් ඉන්න අවසන් අභියාචන බලධාරියත් ඇමැති. මේ ආණ්‌ඩුවේ අය විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වුණේ තනි පුද්ගලයකුට අසීමිත බලතල ලැබෙනවා කියලා. මේ පනත හදලා තියෙන්නේ ලක්‍ෂ 200 ක්‌ ජනතාවගේ ජීවිත ගැන තීරණ ගන්න බලය ඇමතිට පවරලා. ඇමති ඖෂධ සමාගම්වලින් අල්ලස්‌ ලබා නොගනියි කියලා තිබෙන සහතිකය මොකක්‌ද? ඒක වළක්‌වන්න තිබෙන ක්‍රමවේදය මොකක්‌ද? රාජිත සේනාරත්න ඇමතිතුමා නම් එහෙම කරන එකක්‌ නෑ කියලා හිත හදාගන්නද කියන්නේ? අනාගතයේ එම ඇමතිවරු ගැනත් එහෙම හිත හදාගන්නද කියන්නේ? දූෂණ විරෝධී කියන ආණ්‌ඩුවේ ඇත්ත කතාව මේක.

මෙම අවස්‌ථාවට පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ මධ්‍යම කාරක සභික ජූඩ් සිල්වා පුල්ලේ සහ සෞඛ්‍ය සේවක මධ්‍යස්‌ථානයේ ලේකම් වෛද්‍ය ආර්. ඩබ්. රණසිංහ යන මහත්වරුද එක්‌ වූහ.

Courtesy Divaina……

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress