“ලයිට් කණුවේ ජනාධිපති” අපිට කියාදෙන පාඩම
Posted on September 3rd, 2017

-යටියන ප්‍රදීප් කුමාර-

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ රුව ඇතුලත් දැවැන්ත ප්‍රමාණයේ කටවුට් බැනර් කොළඹ වීදි පුරා සෑම විදුලි කණුවකම , දුරකතන කණුවකම පාහේත් රට පුරා සියලුම නගර කඩ මණ්ඩි පුරාත් එල්ලී තිබේ.
මේ ගිය ජනාධිපතිවරණ සමයේ “මම කටවුට් පෝස්ටර් සඳහා මුදල් නාස්ති කරන්නේ නෑ . ඒ මුදල් උතුරු මැද වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් වකුගඩු රෝහලක් ඉදි කිරීම වෙනුවෙන් පරිත්‍යාග කරනවා”  යැයි උජාරුවෙන් කියූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කටවුට්ය. එකල මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ රුව ඇතුලත් කටවුට් පෝස්ටර් (මැතිවරණ සමයේ ) සෑම ලයිට් කණුවකම එල්ලද්දී ඊට ප්‍රතිවාදී අපේක්ෂක සිරිසේන මහතා දුන් පිළිතුර වූයේ කටවුට් විරෝධය සහ මේ ආකර්ෂණීය වකුගඩු රෝහල් පොරොන්දුවයි.

බලයට පත්වී මාස කිහිපයක් ගිය තැන කුප්‍රකට ජිනීවා පාවාදීම සිදු කර ලංකාවට එද්දී ලංකාව රට පුරාම “රට බේරාගත් වීර ජනපති” යනුවෙන් දැවැන්ත කටවුට් පෝස්ටර් ගසා ඒ වකුගඩු රෝහල් පොරොන්දුව ගැන විස්වාස කල ජනතාවට කොකා පෙන්වූ සිරිසේන මහතා අද වන විට එහි යා හැකි අන්තය වෙත ලඟාවී තිබේ. වෙනදා නම් මෙවැනි දෙයක් සිදුකර එය ජනතා විරෝධයට ලක් වන බව දුටු විට “මම දන්නේ නෑ. මම දැනගත්තෙත් පත්තරෙන්” වැන්නක් හෝ කියා ඇඟබේරා ගන්නා සිරිසේන මහතා දැන් එයද අතහැර දමා තිබෙන සේය.

මේ කටවුට් විරෝධයත් වකුගඩු රෝහල් පොරොන්දුවත් සද්භාවයෙන් කළ ක්‍රියාවන් නොව , ඒ මොහොතේ සිරිසේන මහතාගේ පිලට එවැනි ප්‍රචාරක යාන්ත්‍රණයක් නොමැති වීම සහ ඒ වෙනුවට විකල්පයක් ලෙස සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ තක්කඩියන් යෝජනා කළ කපටි උපායක් බව ඔවුන්ගෙන් කෙනෙකු වන වත්මන් ජනාධිපති උපදේශක භූමිකාවක සිටින රතන ස්වාමීන් වහන්සේගේ අග්‍රගන්‍ය පුරෝහිතයා සේ සැලකෙන අශෝක අබේගුණවර්ධන විසින් රචිත “යුග පෙරළිය” ග්‍රන්ථයේ පැහැදිලිව සටහන් වේ.

උපුටා  ගැනීම :
“මහින්ද රාජපක්ෂ වෙනුවෙන් රට පුරා පෝස්ටර්, කටවුට් ප්‍රදර්ශනය වූ අතර මෛත්‍රීපාලයන් වෙනුවෙන් කිසිඳු පෝස්ටරයක් හෝ කටවුට් එකක් සකස් වී නොතිබිණ . එක්සත් ජාතික පක්ෂය වෙනමමත් මෛත්‍රීපාල සිරිසේන කණ්ඩායම වෙනමත් ප්‍රචාරක ව්‍යාපාර දියත් කරන්නට වෑයම් කළද මෛත්‍රීපාල සිරිසේනයන්ගේ චායාරූප ආදිය නොමැති නිසාත් මුදල් හිඟයක් පැවති නිසාත් පෝස්ටර් හෝ කටවුට් දක්නට නොලැබිණ. ඒ අවස්ථාවේදී දැන් ශ්‍රී ලංකා පදනම් ආයතන්නයේ සභාපතී බවට පත්ව සිටින මලිත් ජයතිලක මහතා යෝජනා කළේ අපි පරිසරය හා නාස්තිය ගැන සිතා එලෙස ප්‍රචාරක ව්යාපාර නොකරන ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කළ යුතු බවයි. 
එම යෝජනාවට ඉහළ ඉල්ලුමක් ලැබිණ. මෛත්‍රීපාල සිරිසේනයන් ඒ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර මහින්දගේ කටවුට් හෝ පෝස්ටර් දකින දකින වතාවට ජනතාව අතර මෛත්‍රීට ලකුණු වැටිණ. “

“යුග පෙරළිය”
140 පිට
අශෝක අබේගුණවර්ධන

අද වන විට ඒ වංචාකාරී ක්‍රියාව හමුවේ වකුගඩු රෝහලට තැබූ මුල් ගල එතනම පැල වෙද්දී  ඒ වෙනුවට සිරිසේන මහතාගේ මෙගා ප්‍රමාණයේ කටවුට් ගහක් ගලක් ගානේ  ඉහලට එසවී ඇත. 

 
උනුත් එකයි මුනුත් එකයි ද?

එකල සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල වෙබ් අඩවි මේ කටවුට් ගැසිල්ල විවේචනය කළේ ‘අතිගරු ලයිට් කණුවේ ජනාධිපති’ යනුවෙන් අන්වර්ථ නාමයක්ද පටබඳිමිනි. එදා ඒ කියූ කටවල් අද මේ ‘ලයිට් කණුවේ ජනාධිපති’ ගේ රුව නොදැක්කා සේ සිටින අයුරු අපූරුය.

අතලොස්සක් දෙනෙක් මේ ආණුවේ මෙවැනි කඩප්පුලි වැඩ දකින විට “උනුත් එකයි මුනුත් එකයි” යනුවෙන් පවසා ව්‍යාජයෙන් හිත හදාගැනීමටත් ජාමේ බේරාගැනීමටත් උත්සාහ කරන අයුරුත් පෙනේ. සැබෑවටම උනුත් එකයි මුනුත් එකයි ද? 
කටවුට් ගැසීම පෝස්ටර් ගැසීම ආදී සිල්ලර මාතෘකා අතින් නම් එය එසේ වන්නට පුළුවන. නමුත් අද දවසේ අප රටක් වශයෙන් මුහුණ දෙන ප්‍රමුඛම අභියෝගය, එනම්  ත්‍රස්තවාදය පැරදවීමේ “වරදට” රට රැකි විරුවන් දං ගෙඩියට දක්කන අතරේ දෙමළ ජාතිවාදය පිනවන බෙදුම්වාදී ද්‍රෝහී ව්‍යවස්ථාව සම්මත කරගැනීමට දරණ වෑයම අතින් නම් එය එසේ නොවේ. එහිදී උනුත් මුනුත් අහසට පොළව මෙනි.
එබැවින් එදා ත්‍රස්තවාදය පරාජය කර බෙදුම්වාදයට රිදෙන්නට දුන් පිළිතුර අද ආපසු හැරවීමේ දීන උත්සාහය උනුත් එකයි මුනුත් එකයි යන ජනප්‍රිය නමුත් වැදගැම්මකට නැති කතාවෙන් වසං කිරීමට තක්ක්ඩියන්ට ඉඩ දිය යුතු නැත. 

ලයිට් කණුවේ එල්ලී අපට කියා දෙන පාඩම

අපි මෛත්‍රීපාලට රනිල්ට සහ මේ යම පාලනයට විරුද්ද වන්නේ රට වටා කටවුට් ගැසීම වැනි සිල්ලර කරුනු මත පදනම්ව නොවේ. මේ පාලකයන් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයට ද්‍රෝහි වූයේ කටවුට් ගැසීමෙන් නොවේ. ආසන 50ක්වත් නොතිබුනු පක්ෂයක නායකයා අගමැති කිරීමෙනි. නීතිය බල්ලට දමා අගවිනිසුරු චිට් එකකින් ගෙදර යැවීමෙනි. මහ බැංකුවෙන් කෝටී තිස් හතලිස් දාහක් ගසා කෑමෙනි. සැබෑ විපක්ෂය යටපත් කර සුලු පක්ෂයකින් විපක්ෂ නායකයා පත් කිරීමෙනි. රට විකුණන එට්කා ගිවිසුම වෙනුවෙන් ඉන්දියාව ඉදිරියේ දණ ගැසීමෙනි. ජිනීවාවලදී අපේ ස්වෛරීත්වය පාවා දීමෙනි. රටේ ව්‍යවස්තාව ඇමරිකානු බලපෑම්වලට යටත්ව වෙනස් කිරීමට සපත වීමෙනි. එක් පසකින් අපව යුද අපරාද චෝදනාවල සිරකර අනෙක් පසින් ඇමරිකානු ඉන්දියානු බලපෑමට යටත්ව බෙදුම්වාදයට පාර කපන ව්‍යවස්ථා සංශෝදනයක් සිදු කිරීමට සපත වීමෙනි.

‘ලයිට් කණුවේ ජනාධිපති’ , සියලු දෙනාට ඔලුව හිරි වැටෙන්නට ටොක්කක් ඇන කියා දෙන පාඩමක් තිබේ. එනම්, රටක ඉරණම තීරණය වන්නේ මේ කටවුට්  පොස්ටෙර්  ගැසීම වැනි දෙකයි පනහේ මාතෘකා අනුව නොවන බවත් ඒවා සැබෑ ප්‍රශ්නය , සැබෑ අභියෝගය වසන් කිරීමට පාවිච්චි කල වෙස් මුහුණු පමණක් බවත්ය. කොටින්ම යහපාලන මාතෘකාවම එදා ජේ ආර් ජයවර්ධනගේ “ධර්මිෂ්ඨ සමාජ” බොරුව මෙන්ම අනුවණ සිංහලයා රැවටීමේ තවත් එක් ට්‍රෝජන් අශ්වයකු පමණක් බවයි.

රටේ ආරක්ෂාව, ඒකීයභාවය , ස්වෛරීත්වය බරපතල ලෙස අපයොජනය කරමින් ජනාධිපතිවරයා කොහුවල හන්දියේ සාමාන්‍ය කඩේකින් සෙරෙප්පු ගත්තාට පළක් නැත. මේ ටිපිටිප් මාතෘකා වෙනුවට රටේ අද දවසේ අප මුහුණ දී ඇති ප්‍රධානම අභියෝගය අධිරාජ්‍යවාදී මැදිහත්වීමත් ඒ හරහා අනාගතයේ රට බෙදා වෙන්කිරීමේ ඉම වෙත දක්කා ගෙන යන ත්‍රාඩ මෙහෙයුමත් බව සිරිසේන මහතා ලයිට් කණුවේ එල්ලීමෙන් අපට කියා දෙන පාඩමයි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

One Response to ““ලයිට් කණුවේ ජනාධිපති” අපිට කියාදෙන පාඩම”

  1. Christie Says:

    අනේ මන්දා අපේ මොලගෙඩියට වෙලා තියෙන දේ.

    වසර 66 කට පෙර ඉන්දියාවත්, ඉන්දියානු පරපෝසිතයනුත් එකතුව බන්ඩ අල්ලගෙන සල්ලි වියදම් කරල ප්‍රති පත්තිඅ හා කතන්දර හදල දීල සින්හල සන්හාරය පටන්ගත්ත.

    56 යෙන් පසුව ඩඩ්ලි, ජෝන් හා මහින්ද හැරුනුවිට රට කෙරුවේ ඉන්දියානු ගැත්තන්ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress