අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ කමිටුවේ අධ්‍යාපනඥයන් එක්කෙනයි.. අනෙක් අය ව්‍යාරිකයන්..
Posted on July 25th, 2025
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් කළ 25 දෙනාගේ කමිටුවේ සිට ඇත්තේ එකම එක අධ්‍යපනඥයකු පමණක් බවත්, අනෙක් පිරිස අතර ව්‍යාපාරිකයන්, ජාත්‍යන්තර පාස්ල් හිමිකරුවන්, හෝටල් හිමිකරුවන්, IT සමාගම් විධායක නිලධාරින්, පෞද්ගලික විශ්වවිද්‍යාලයක නියෝජිතයකු සහ ලෝක බැංකු නියෝජිතයකු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ චෝදනා කරයි.
මෙහිදි අදාළ කමිටුවේ සංයුතිය සම්බන්ධව අනාවරණය කරමින් ඔහු පවසා සිටියේ 25 දෙනා අතුරින් 6ක් IT සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන් සහ සාමාන්‍යාධිකාරින් වන බවයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (24) විද්‍යුත් නාලිකාවක පැවති සජීව දේශපාලන සංවාදයකදීය.
එහිදී දුමින්ද හුලංගමුව – වාණිජ මණ්ඩලයේ උප සභාපති, හර්ෂ අලස් – ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ප්‍රධාන විධායක නිලධාරී, සහ හර්ෂ සුබසිංහ, යසස් තලගල, විරංජ කරුණරත්න , හිරාන් කුරේ, හර්ෂ අතුරුපාන, ආදී ලෙස නම් ලැයිස්තුක් ඉදිරිපත් කළ ඔහු අදාළ කමිටුවේ සිටින එකම අධ්‍යාපනඥයා මහාචාර්ය සිරිමල් අබේරත්න පමණක් බවද පැවසීය.
මහාචාර්ය සිරිමල් අබේරත්න කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාධ්‍යන අංශයේ ප්‍රධානියා බව පෙන්වා දුන් පුබුදු ජයගොඩ,ලංකාවේ පළමු අධ්‍යාපන පීඨය තිබෙනුයේද කොළඹ විශ්ව විද්‍යාලයේ බවත් එහි අධ්‍යාපනඥයන් රැසක් සිටින නමුත් ඒ කිසිවෙක් මෙකී කමිටුවේ නැති බවද පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පැමිණ කියා සිටියේ අධ්‍යාපනඥයන් මෙම ප්‍රතිසංස්කරණ යෝජනා සකස් කළ බව යැයි සිහිපත් කළ ඔහු ජනාධිපති පාර්ලිමේන්තුවේ කීවේ බොරුවක් බව මෙම කමිටුව හරහා තහවුරු වන බවද පැවසීය.
තමන් සිදු කරන මෙම අනාවරණය අසත්‍ය නම් ඒ බව තහවුරු කිරීමට ආණ්ඩුවට හැකි බවද පුබුදු ජයගොඩ වැඩි දුරටත් සඳහන් කළේය .