ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් දේශපලන වේදිකාවකදී අධිකරණය හමුවෙහි තවමත් පවතින නඩු කටයුත්තක ඉදිරියට ලබා දීමට නියමිත තීන්දුවක් පිළිබදව සිදු කරන ලද අගතිගාමී ප‍්‍රකාශයක් පිළිබදව විමර්ශනයක් පවත්වන ලෙසට කරනු ලබන ඉල්ලීමයි.
Posted on May 4th, 2026

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න   ‍ෆී ලෝයර්ස් සංවිධානය ‍

ගරු ප‍්‍රීති පද්මන් සූරසේන මැතිතුමා
ගරු අගවිනිසුරු සහ අධිකරණ සේවා
කොමිෂන් සභාවෙහි ගරු සභාපති,
ශ‍්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය,
කොළඹ 12.

2026 මැයි මස 04 වන දින දීය.

ගරු අගවිනිසුරුතුමනි,

ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් දේශපලන වේදිකාවකදී අධිකරණය හමුවෙහි තවමත් පවතින නඩු කටයුත්තක ඉදිරියට ලබා දීමට නියමිත තීන්දුවක් පිළිබදව සිදු කරන ලද අගතිගාමී ප‍්‍රකාශයක් පිළිබදව විමර්ශනයක් පවත්වන ලෙසට කරනු ලබන ඉල්ලීමයි.

පසුගිය මැයි දිනය දා ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් අධිකරණය හමුවෙහි තවමත් පවතින නඩු කටයුත්තක ඉදිරියට ලබා දීමට නියමිත තීන්දුවක් පිළිබදව සිදු කරන ලද ප‍්‍රකාශයක් පිළිබදව මේ වන විට රට තුළ ඉමහත් ආන්දෝලනයක් හට ගෙන ඇත. ගරු ජනාධිපතිතවරයා විසින් සිදු කරන ලද එකී කතාවෙහි අදාළ වන කොටස පහත පරිදි වේ.

’අපේ‍්‍රල් 30 ඊයේ එකක් ඇහුවා. තීන්දුව දෙනවා කිව්වේ මැයි 25. ඊයේ ඇහුවා නඩුවක් තීන්දුව මැයි 25. බලාගෙන ඉන්න අත්පුඩි ගහන්න මැයි 25. එහෙමයි කරන්නේ.ඬඬ

මෙම ප‍්‍රකාශය හුදෙක් අධිකරණ ක‍්‍රියාවලිය පිළිබදව සිදු කරන ලද සාමාන්‍ය ප‍්‍රකාශයක් නොව නිශ්චිත දින වකවානු ඉදිරිපත් කරමින් කරන ලද ප‍්‍රකාශයක් බව පැහැදිලිව පෙනී යන්නකි. කිසියම් දේශපාලකයෙකුට අදාළ නඩු කටයුත්තක් පසුගිය අපේ‍්‍රල් 30 වන දින කැදවී ඇති බවත් එහි තීන්දුව සදහා එළඹෙන මැයි 25 වන දිනට නියමව ඇති බවත් එම තීන්දුව අත්පුඩි ගසා සැමරිය හැක්කක් බවත් ගරු ජනාධිපතිවරයා විසින් නිශ්චිතව සදහන් කරන ලදී.

මෙමගින් ගරු ජනාධිපතිවරයා විසින් යම්කිසි අපරාධ නඩු කටයුත්තක තීන්දුවක නිගමනය එකී තීන්දුව ගරු විනිසුරුවරයා විසින් විවෘත අධිකරණයෙහි ප‍්‍රකාශ කිරීමට මාසයකට පමණ පෙර සිටම දැනුවත්ව සිටින බව පැහැදිලිව හගවා සිටී. විශේෂයෙන් ගරු මහාධිකරණ විනිසුරුවරුන් හට ගරු අභියාචනාධිකරණයට උසස්වීම් ලබා දීමේ බලතල සහිත විධායක ජනාධිපතිවරයා විසින් මෙයාකාර ප‍්‍රකාශයක් සිදු කිරීම මෙරට යුක්තිය පසිදලීමේ ක‍්‍රියාදාමයට ඉතාම අගතිදායක බලපෑමක් එල්ල කරනු ලබන බව අපගේ හැගීමයි.

විශේෂයෙන්ම මෙම වසරේ අපේ‍්‍රල් 30 වන දින හෝ ඒ ආසන්්න දිනයක කිසියම් අපරාධ නඩු විසදන අධිකරණයක් හමුවෙහි කැදවනු ලැබ මෙම වසරේම මැයි 25 වන දින හෝ ඒ ආසන්න දිනයක තීන්දුව සදහා නියම කරනු ලැබූ යම් දේශපාලකයෙකුට අදාළ නඩු කටයුත්තක් පවතින්නේ නම් එම නඩු කටයුත්තෙහි ලබා දෙනු ලබන තීන්දුවෙහි අපක්ෂපාතීත්වය සහ විශ්වාසනීයත්වය ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශය මගින් බරපතළ ආකාරයෙන් අභියෝගයට ලක් වේ.

අපරාධ අධිකරණ වන මහේස්ත‍්‍රාත් අධිකරණ සහ මහාධිකරණයන්හී අපක්ෂපාතීව තීන්දු සහ නියෝග ලබා දෙන ගරු විනිසුරුවරුන්ගේද පොදුවේ සමස්ත යුක්තිය පසිදලන ක‍්‍රියාදාමයෙහිද ස්වාධීනත්වය පවා ජනාධිපතිවරයා විසින් මෙම අගතිදායී සහ වගකීම් විරහිත ප‍්‍රකාශය මගින් අභියෝගයට ලක් කිරීමට යත්න දරා ඇති බවද පෙනී යන දෙයකි. එමෙන්ම කිසියම් දේශපාලන බලපෑමක් පොදුවෙහි මෙරට අධිකරණ ක‍්‍රියාදාමයට සිදුවෙමින් තිබෙන්නේ ද යන සාධාරණ සැකයද ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශය මගින් ජනිත කරවයි.

මෙකී තත්වය හමුවෙහි මෙරට යුක්තිය පසිදලන ක‍්‍රියාදාමයට අදාළ ධූරාවලියෙහි ඉහළම තනතුරෙහි කටයුතු කරන එමෙන්ම මෙරට මුල් අවස්ථා අධිකරණයන්හී විනිසුරුවරුන් හා සම්බන්ධ විනය සහ අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබන අධිකරණ සේවා කොමිෂන් සභාවෙහි ගරු සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරන ඔබතුමන් වෙතින් අප ඉල්ලා සිටින්නේ, ගරු ජනාධිපතිවරයාගේ මෙම අගතිදායී ප‍්‍රකාශය මගින් පැහැදිලිව පෙන්නුම් කරන ආකාරයේ බලපෑමක් අපරාධ අධිකරණ වන මහේස්ත‍්‍රාත් අධිකරණයක හෝ මහාධිකරණයක කටයුතු කරනු ලබන කිසියම් විනිසුරුවරයෙකුට සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් පුන්‍දාල් විමර්ශණයක් පවත්වන ලෙසයි. එමෙන්ම ගරු ජනාධිපතිවරයා විසින් අගවා සිටින ලද ආකාරයෙහි බලපෑමක් පොදුවෙහි මෙරට අධිකරණ ක‍්‍රියාදාමයට සිදුවෙමින් තිබෙන්නේ ද යන්න පිළිබදව ද සොයා බලන මෙන් උදක්ම ඉල්ලා සිටිමු.

ස්තූතියි,

මෙයට,

විශ්වාසී,

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න   

‍ෆී ලෝයර්ස් සංවිධානය ‍

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress