බෞද්ධ ජනරජ ප්‍රවාදය – 38 වැනි කොටස ‍වැඩ‍ට බැඳුණු විවේකය
Posted on October 4th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

බටහිර ආර්ථික සාධන ක්‍රමවල දී වැඩ සහ විවේකය එකිනෙකින් වෙන්කර තිබේ. දවසක් තුළ නිශ්චිත පැය ගණනක් වැඩකරන ශ්‍රමිකයා එයින් පසු විවේකගනියි. සතියකට දින පහක් හෝ හයක් හෝ වැඩකරන ඔහු සති අන්තයේ විවේකගනියි. වසර මැද හෝ අවසානයේ හෝ ඔහු නිවාඩු කාලයක් ගතකරයි. නියමිත වයස සම්පූර්ණ කළ විට විශ්‍රාම ගනියි. මෙම ක්‍රමය තුළ වැඩ සහ ශ්‍රමිකයාගේ විවේකය, විනෝදය අතර සම්බන්ධයක් නොමැත.

එනමුදු අපගේ සංස්කෘතිය තුළ එවැනි බෙදීමකට ඇති ඉඩ ඉතා සීමිත ය. යම් යම් විශේෂිත කාර්යයන්ගේ නිරතවන ශ්‍රමිකයන්ගේ වැඩ කාලය සහ විවේක කාලය වෙන් කළ හැකි වුව ද බහුතරයක් අය හට තම කාර්යයෙහි නිරතවන අතර ම විවේකය, විනෝදය සහ ඒ හා බැඳුණු අධ්‍යාත්මික සුවය ලබාගත හැකි ය.

පෙර කාලයේ මිනිසුන් ගොයම් කවි, කරත්ත කවි, පතල් කවි ගායනා කළේ තමන්ගේ ශ්‍රමය යොදවා අදාළ කාර්යයෙහි නිරතවන අතර ම ය. ගොවිතැන් කරන්නා ඒ හා බැ‍ඳෙයි. තමන්ගේ වගාව ලොකු මහත් වෙද්දි ඔහු එහි ආශ්වාදය විඳියි. ගෙවතු වගාවේ දී ද, කුඹුරු ගොවිතැනේ දී ද, වෙනත් ගොවිතැන් කටයුතුවල දී ද මෙය සිදුවනු අපි අත්දැක ඇත්තෙමු. කරත්තකරුවා තමන්ගේ වැඩට යොදාගනු ලබන ගවයා සමඟ ලෙන්ගතුව සිටියි. තමන් කරනු ලබන නිර්මාණය පියවරෙන් පියවර ඉදිරියට යද්දී අත්කම්කරුවා සතුටුවෙයි.

ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතුවල නිතරවන පෙදරේරුවන්ට ද වැඩු කාර්මිකයන්ට ද මෙ ලෙසින් ම සතුටුවිය හැකි ය. මෙවැනි කාර්යයන්ගේ නිතරවෙමින් ඒවාගේ ප්‍රගතිය දකිමින් ආඩම්බරවන්නෝ ද සිටිති. එයට අමතරව, තමන් විසින් කරනු ලබන සහ කරන ලද සේවයේ ප්‍රයෝජන ලබන්නන් දෙස බලා ඒ  සම්බන්ධයෙන් සතුටුවන්නෝ ද සිටිති. බොහෝ ගුරුවරු තමන්ගේ ශිෂ්‍යයන්ගේ ප්‍රගතිය බලා සතුටුවන්නේ එ ලෙසිනි.

මෙ ලෙසින් නිරතවන කාර්යය හා අධ්‍යාත්මිකව බැඳී සිටින අතර ම තමන් සමඟ එක්ව වැඩකරන අයත් සමඟ සමීප සබඳතා පැවැත්වීම ද අපේ වැඩ සංස්කෘතියට අයත් කාර්යයකි. ස්වාමි – සේවක දෙපාර්ශ්වය අතර පැවැතිය යුතු සම්බන්ධය දීඝ නිකායෙහි එන සිඟාලෝවාද සූත්‍රය (සිඟාලක සූත්‍රය) තුළින් විස්තර කර තිබේ. එයට අනුව, ස්වාමියා විසින් සේවකයා දෙස බැලිය යුත්තේ වන්දනාවට, බුහුමනට ලක් කළ යුතු එක් පාර්ශ්වයක් ලෙසිනි. එය දක්වා ඇත්තේ යට දිශාව වශයෙනි.

ස්වාමියා විසින් කම්කරුවාට උවටැන් (සැළකිය) කළ යුතු ආකාර පහක් ද සිඟාලෝවාද සූත්‍රයෙහි දක්වා තිබේ. කළ හැකි වැඩ පැවරීම, බත් වැටුප් දීම, ගිලන් වූ කල උපස්ථානකිරීම, තමන්ට ලැබෙන මිහිරි රස බොජුන් සේවකයන් සමඟ බෙදා හදාගෙන භුක්තිවිඳීම, සුදුසු කාලයේ දී සේවයෙන් මුදාහැරීම යන ලෙසින් එම කරුණු පහ විස්තර කර තිබේ. මෙවැනි උවටැන් ලබන ශ්‍රමිකයා තම කාර්යයෙහි නොමැළිව නිරතවෙයි. ඔහු තම ස්වාමියා ගැන ගුණ කියයි. ඒ ඇසුරින් ස්වාමියාගේ සහ කර්මාන්තයේ කීර්තිය පැතිරෙයි.

අදාළ ව්‍යාපාරයේ (නිෂ්පාදන කාර්යයේ) සේවකයන් හට මෙම ප්‍රවාදය විසින් නිර්දේශිත පරිදි කොටස් හිමිකමක් පැවැරීමෙන් ද ස්වාමි – සේවක සම්බන්ධය තවදුරටත් තහවුරු කළ හැකි ය. මෙවැනි හිමිකමක් පැවරුණු කල සේවකයන් අදාළ කාර්යයන්ගේ නිරතවනුයේ එහි ප්‍රතිලාභ සෘජු අයුරින් භුක්තිවිඳීමේ අරමුණ ඇතිව ය. එසේ වූ කල, අදාළ නිෂ්පාදනයෙහි ගුණාත්මක බව ඉහළ නැංවීමට ඔවුහු කැපවෙති. අකුරට වැඩ, වර්ජන වැනි බාධාකිරීම්වලට ඔවුහු නොපෙළැඹෙති.

ස්වාමියා සහ සේවකයන් අතර මෙන් ම, සේවකයන් සහ සේවකයන් අතර සුහද බව ඇතිකිරීම සහ වර්ධනයකිරීම ද ඉතා වැදගත් ය. එවිට ඔවුහු අදාළ කටයුතුවල නිරතවන්නේ මමත්වය ඉක්ම වූ සාමූහික අර්ථයකිනි. තනිව කළ නොහැකි වැඩ සාමූහිකව කළ හැක්කේ ය. එවැනි කාර්යයන් සාර්ථක වනුයේ එකිනෙකා අතර ඉතා සුහද සාමූහිකත්වයක් වර්ධනය වී තිබෙන විට ය. සංස්කෘතිකයට අදාළ ආමන්ත්‍රණ යොදාගැනීමෙන් ද එකිනෙකා අතර සුහද බව වර්ධනය කළ හැක්කේ ය. නංගි, මල්ලී, අයියා, අක්කා, නැන්දා, මාමා, දුව, පුතා” වැනි සංස්කෘතික ආමන්ත්‍රණ යොදාගැනීමෙන් මෙය කළ හැකි ය.

මෙ ලෙසින් සුහද බව ඇති කොට පවත්වාගෙන යනු ලබන කාර්යය පරිසරයක සේවයකිරීමට සැවොම ප්‍රියකරති. එවැනි පරිසරයක් තුළ වැඩකිරීම ඔවුනට වදයක් නොව සතුටකි. එවැනි වාතාවරණයක් තුළ පැය අටක් නොව දිවා – රෑ වැඩකිරීමට ද ඔවුහු පෙළැඹෙති. තව ද, අදාළ කාර්යයන්ගේ නිරතවීමෙන් සහ අන්‍යොන්‍ය සම්බන්ධතා ඔස්සේ ඉගෙනගෙන තම කුසලතා වර්ධනය කරගැනීමේ අවස්ථාව ද සේවකයෝ හිමි කරගනිති.

මෙවැනි ක්‍රමයකින් තමන් පතන සතුට සහ තෘප්තිය සේවකයෝ භූක්තිවිඳිති. එමෙන් ම, ඒ හා බැඳුණු අධ්‍යාත්මික සුවය සහ විවේකය ද ඔවුහු නොමදව ලබති. වැඩ සහ විවේකය එකිනෙකින් වෙන් කළ යුතු බවක් ඔවුහු නොසිතති.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress