Rebuilding Sri Lanka අරමුදල: සල්ලි එකතු කළාට වැඩක් නෑ; තවමත් පෙට්ටගමේ!
Posted on June 5th, 2026

The Leader

රට ගොඩනැගීමේ අරමුණින් පිහිටුවන ලද “Rebuilding Sri Lanka” අරමුදලට මෙතෙක් ලැබුණු කිසිදු මුදලක් කිසිදු කාර්යයක් සඳහා වියදම් කර නොමැති බව ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති ඊ. එම්.එස්. ඒකනායක අනාවරණය කර තිබේ.

දේශපාලන පොරොන්දු සහ ප්‍රචාරණ සටන් පාඨ මැද මෙරට ජනතාවගේ සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු ඇති කරමින් එකතු වූ මෙම මුදල්, කිසිදු ඵලදායී කාර්යයකට නොයොදා මෙලෙස ගොඩගසා තිබීම බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු කරන්නකි.


මුදල් කාරක සභාවේදී හර්ෂ කළ ප්‍රශ්න කිරීම


රාජ්‍ය මූල්‍ය පරිහරණය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ජාතික විගණන කාර්යාලයේ උසස් නිලධාරීන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තොරතුරු කරළියට පැමිණියේය.

අරමුදලේ වත්මන් තත්ත්වය සහ එහි පාරදෘශ්‍යභාවය පිළිබඳව හර්ෂ ද සිල්වා කළ විමසීමට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපතිවරයා මේ බව ස්ථිර කළේය.

“රට හදන්න එකතු කරපු සල්ලි, රටේ ආර්ථිකය අගාධයක තියෙද්දීත් මෙහෙම හිරකරගෙන ඉන්නේ ඇයි?” – දේශපාලන විචාරකයෝ ප්‍රශ්න කරති.


නිලධාරීවාදයේ සිරවීම සහ පාරදෘශ්‍යභාවයේ අර්බුදය


විශ්වාසනීය රාජ්‍ය තාන්ත්‍රික සහ පාර්ලිමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ, මෙවැනි අරමුදල් පරිහරණය සඳහා නිසි ක්‍රමවේදයක් නොමැතිකම හෝ නිලධාරීවාදී ප්‍රමුඛතාවන් මාරුවීම හේතුවෙන් මෙරටට ලැබෙන විදේශීය ආධාර සහ පරිත්‍යාග පවා නිසි වේලාවට මහපොළොවේ වැඩකටයුතු සඳහා යෙදවීමට පාලකයන් අපොහොසත් වී ඇති බවයි.

 බදු බරින් මිරිකෙන ජනතාව මුදල් කාරක සභාවේ මෙම හෙළිදරව්ව දෙස බලා සිටින්නේ “Rebuilding Sri Lanka” යනු තවත් එක් ප්‍රචාරක මෙවලමක් පමණක්ද යන සාධාරණ සැකය ඇතිවය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress