ශ්‍රී ලංකාවේ දේශපාලනය නිසා ඇතිවන අන්තර්ජාල සුන්බුන්
September 5th, 2021ෂම්මි උයනගේ පරිගණක මෘදුකාංග ඉංජිනේරු
පෘථිවියට කඩා වැටෙමින් තිබූ චීනයේ විශාලතම ලෝන් මාච් රොකට්ටුවේ අවශේෂ කොටස් මැයි 9 වන දින ග්‍රිනිච් වේලාවෙන් 0224 ට වායුගෝලයට ඇතුළු වූ අතර දේශාංශ 72.47 ක් සහ අක්ෂාංශ 2.65 ක් උතුරින් පිහිටි ඉන්දියන් සාගරයේ ස්ථානයකට කඩා වැටුණු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියි.”
2020 නොවැම්බර් 06 වෙනිදා නිකුත් කරන ලද අංක 2203/33 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ජනාධිපතිවරයා තාක්ෂණ අමාත්‍යාංශය තමා යටතේ තබා ගන්නා බව සඳහන් කරයි. ඒ බව ජනාධිපති කාර්යාල (presidentsoffice.gov.lk) වෙබ් අඩවිය ද තහවුරු කොට ඇත.
ශ්‍රී ලංකාවේ තාක්ෂණ අමාත්‍යාංශය පිළිබඳව අන්තර්ජාලය තුල සොයා බැලීමේදී එය, වන් ගෝල් ෆේස් නම් ගොඩනැගිල්ලක 11 වන මහලේ පිහිටා ඇති බව කැබිනට් කාර්යාලය (cabinetoffice.gov.lk) වෙබ් අඩවිය පවසයි. තාක්ෂණ අමාත්‍යංශයට වෙනම වෙබ් අඩවියක් (mot.gov.lk) පවතින අතර එහි ජනාධිපති ගෝඨාභය මහතාගේ ඡායාරූපයක් ද අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඡායාරූපයක් ද සමග තවත් සීමිත තොරතුරු ප්‍රමාණයක් ඇත. එනමුත් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (gic.gov.lk) වෙබ් අඩවිය පවසන්නේ තාක්ෂණ අමාත්‍යාංශය කොළඹ 5, කිරිමණ්ඩල මාවතේ පිහිටා ඇති බවයි.
රාජ්‍ය වෙබ් අඩවියේ (gov.lk) සඳහන් ව ඇත්තේ ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණික අමාත්‍යාංශයක් ඇති බවත්, එහි වෙබ් අඩවි ලිපිනය mtdi.gov.lk බවත්ය. එවැනි වෙබ් අඩවියක් ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත.
රජයේ සෑම වෙබ් අඩවියකම වාගේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයයේ (gic.gov.lk) වෙබ් අඩවියට පිවිසීම සඳහා දිගුවක් පෙන්නුම් කර ඇත. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ වෙබ් අඩවිය පිරික්සූ විට විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් යනුවෙන් අමාත්‍යාංශයක් ඇති බවත් එහි ඇමතිවරයා හරීන් ප්‍රනාන්දු බවත් නියෝජ්‍ය ඇමතිවරයා තාරානාත් බස්නායක බවත් පෙන්නුම් කරයි. එම වෙබ් අඩවිය පවසන පරිදි දැනට රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයෙන් ආයතන 289 ක සේවා 1,476 ක් පිලිබදව නිවැරදි තොරතුරු ලබාගත හැක.
ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති කාර්යාල වෙබ් අඩවියයේ සඳහන් වේ. අමාත්‍ය මණ්ඩල කාර්යාලය (cabinetoffice.gov.lk) වෙබ් අඩවියේද ඩිජිටල් තාක්ෂණය හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමතිවරයෙකු පත්කර ඇති බව දන්වා ඇත. නමුත් එහි විස්තර ලබා ගැනීම සඳහා වෙබ් අඩවි දිගුවක් ලබාදී තිබුණ ද සත්‍ය වශයෙන් එවැනි වෙබ් පිටුවක් නොමැත (404 error).
ඔබ මේ ලිපිය කියවන මේ අවස්ථාවේ දී ඒ ඒ අමාත්‍යාංශවලට අනුයුක්ත කර ඇති රාජ්‍ය ආයතන පිළිබඳව විස්තර නිවැරදිව ලබා ගැනීමට වුවමනා නම් ඒ සඳහා මනා සංයමයකින් යුතුව, පිළිවෙලින්, 2020 අගෝස්තු 13 දින නිකුත් කර ඇති 2188/42 අංක දරන ගැසට් පත්‍රයේ සිට මේ දක්වා නිකුත් කර ඇති සියලුම අති විශේෂ ගැසට් පත්‍ර, අති විශේෂ පරිශ්‍රමයකින් පරිශීලනය කළ යුතුය.
දැන් අපි තාක්ෂණික විෂයට අදාළ ආයතන කිහිපයක වෙබ් අඩවි කිහිපයක් පරීක්ෂා කර බලමු. ජාතික විද්‍යා පදනම යනුවෙන් සඳහන් ආයතනයේ වෙබ් අඩවියේ (nsf.ac.lk), එය උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන නම් අමාත්‍යාංශයට අයත් බව පවසයි. අවසන් වරට 2021.07.09 දින යාවත්කාලීන කරනු ලැබූ බව සඳහන් මෙම වෙබ් අඩවියේ පහළ කොටසේ, ආයතනයට අනුබද්ධ අමාත්‍යාංශය ලෙස දක්වා ඇත්තේ motr.gov.lk නම් ලිපිනයකි. එවැනි වෙබ් අඩවියක් සොයා ගැනීමට නැත. එසේම ජාතික පර්යේෂණ සභාව නමින් ඇති වෙබ් අඩවියේ (nrc.gov.lk) පහළ කොටසේ විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ නමින් අමාත්‍යාංශයකට යැයි කියා දිගුවක් (mostr.gov.lk) ලබා දී ඇති අතර එම ලිපිනයේ දැනට පවතින්නේ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියයි. අද වනවිට ආණ්ඩුවේ අමාත්‍යංශ 30 ක් පමණ සහ රාජ්‍ය අමාත්‍යාංශ 45 ක් පමණ ඇත. අනුබද්ධ සංවිධාන, සංස්ථා, මංණ්ඩල, සමාගම් ප්‍රමාණය අතිවිශාලය. ඒවා සියල්ලම පිළිබඳව සොයා බැලුවොත් මා හට නවතින්න වන්නේ අංගොඩ අපේක්ෂා රෝහලේය. මා දන්නා පරිදි රජයේ සෑම ආයතනයකටම ජනතාවගේ බදු මුදලින් නඩත්තු කරන තොරතුරු තාක්ෂණ නිලධාරීන් අනුයුක්ත කොට ඇත.
තොරතුරු තාක්ෂණ මූලධර්ම වලට අනුව කටයුතු පහසු සහ කාර්යක්ෂම කර ගැනීම සඳහා පරිගණක පද්ධතියක් ස්ථාපනය කිරීමට අදහස් කරන්නේ නම් එහි දැනටමත් විධිමත් ක්‍රියාපටිපාටීන් පැවතිය යුතුය. පරිගණක විශේෂඥවරුන් කරන්නේ පවතින විධිමත් ක්‍රම සඳහා පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීමයි. යම් ආයතනයක, මණ්ඩලයක, සංස්ථාවක, රාජ්‍ය අමාත්‍යාංශයක, අමාත්‍යාංශයක හෝ රටක විධිමත් ක්‍රමවේද නොපවතින්නේ නම් ඒවා සඳහා පරිගණක විශේෂඥවරුන් තියා, ශක්‍රදේවේන්ද්‍රයාගේ පුතා වන වයිමා ආවත් පරිගණක පද්ධති නම් ස්ථාපනය කළ නොහැක. වෙන මොකක් හරි දෙයක් කළ හැක.
වෙබ් අඩවි සකස් කොට අන්තර්ජාලයට මුදා හරිනවා සේම ඒවා අනවශ්‍ය අවස්ථාවලදී අන්තර්ජාලයෙන් ඉවත් කිරීමද සිදු කළ හැක. අලුතෙන් ආණ්ඩුවක් පත් උනහම පරණ ඇමතිවරයා තමාගේ කාර්යාලයේ බඩුමුට්ටු පොදි බැඳගෙන ගෙදර යනවා සේ කල් ඉකුත් වූ වෙබ් අඩවි ද අන්තර්ජාලයෙන් ඉවත් කර ගෙදර යා හැක. නොඑසේනම් අලුතින් පත්ව එන පාලනාධිකාරිය ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
ඔබ සතුව පවතින තොරතුරු (information) ඔබගේ අනුදැනුම ඇතුව හෝ නැතුව හෝ අන්තර්ජාලයේ සෙවුම් යන්ත්‍ර (search engine) තුළ ගබඩාවේ. මෙය තරමක සංකීර්ණ ක්‍රියාවලියකි. ගූගල් (Google) යනු එවැනි ප්‍රකට සෙවුම් යන්ත්‍රයකි. ගූගල් වලට අමතරව yahoo, bing (මයික්‍රෝසොෆ්ට්), yandex (සෝවියට් රුසියාව), baidu (චීනය) වැනි තවත් බොහෝ සෙවුම් යන්ත්‍ර අන්තර්ජාලය තුල ක්‍රියාත්මක ව ඇත. සෙවීම් යන්ත්‍ර තුළට තොරතුරු ඇතුළත් කිරීම මෙන්ම ඒවායෙන් තොරතුරු ඉවත් කිරීමේ ක්‍රම ද සියලුම සෙවුම් යන්ත්‍ර සතුව පවතී.
“ඔච්චර සෙවුම් යන්ත්‍ර මක්කටෙයි, එකක් තිබුනහම මදෑ” යනුවෙන් පඬියකු අදහස් දැක්විය හැක. ඒ ඒ සෙවුම් යන්ත්‍ර මත ක්‍රියාත්මක වන ජාත්‍යන්තර දේශපාලනයක් ඇත. උදාහරණයක් වශයෙන් ගූගල් සෙවුම් යන්ත්‍රය චීනය තුළ හෝ රුසියාව තුළ සක්‍රියව ක්‍රියාත්මක නොවේ. එම රටවල ජනතාව භාවිතා කරන්නේ ඒ ඒ රටවල් වල බල අධිකාරිය විසින් සකස් කොට දී ඇති සෙවුම් යන්ත්‍රයි. මේ සම්බන්ධව කරුණු කාරණා රාශියක් පැවතිය ද එක කරුණක් පිළිබඳව මම මෙහි විස්තර සඳහන් කරමි. ඔබ යම්කිසි භාණ්ඩ නිෂ්පාදනයක නියැලෙනවා නම්, ඔබේ භාණ්ඩ සඳහා ඔබ රුසියාවෙන් හා චීනයෙන් ගැනුම්කරුවන් සොයා ගැනීමට අදහස් කරන්නේ නම්, ඔබ ඔබගේ වෙබ් අඩවි චීනය සහ රුසියාව භාවිතා කරන baidu සහ yandex සෙවුම් යන්ත්‍ර මත ප්‍රශස්තිකරණය (optimize) කළ යුතුය.
රටේ පවතින දේශපාලන භාවිතාවන් අනුව පසුගියදා අලුතින් ඇතිකරන ලද රාජ්‍ය අමාත්‍යාංශය දෙකට කඩා හෙට, ඩිජිටල් තාක්ෂණයට වෙනම අමාත්‍යාංශයක්ද, ව්‍යවසාය සංවර්ධනට තවත් අමාත්‍යාංශයක්ද ඇති කළහොත් අප පුදුම විය යුතු නැත. එය වෙනම කතාවකි. මා පවසන්නේ ඔය කතාව නොවේ. ඕවා කොනක සිටම වෙනස් විය යුතු දේවල්ය. පසුගිය ඡන්දයේදී ලක්ෂ 69 ක් මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ ඕවා වෙනස් කිරීමටයි. එලෙස අමාත්‍යාංශයක් කඩා අමාත්‍යාංශ දෙකක් ඇතිකිරීම තනි ගැසට්ටුවකින් කළ හැක. එහිදී පෙර පැවති අමාත්‍යාංශයේ අන්තර්ජාල අඩවිය වෙනුවට අලුත් අමාත්‍යාංශ දෙකට වෙන වෙනම අන්තර්ජාල අඩවි සකස් කිරීමටද සිදුවේ. එවැනි කාර්යයන් සඳහා මුදල් වැය වෙනවා මෙන්ම යම්කිසි කාලයක්ද ගත වේ. මෙවැනි ක්‍රියාදාමයන් නිසි පරිදි ක්‍රමවේදයකට අනුව සිදු නොවන බව මම ඔබට ඇඟිල්ලෙන් ඇන ඇන කිවියයුතු නැත. අලුතින් අමාත්‍යාංශ හැදෙන අවස්ථාවන් වලදී පමණක් නොව ආණ්ඩු මාරුවෙන අවස්ථාවලදී ද රජයේ අමාත්‍යාංශවල, ආයතනවල, පරිගණක පද්ධති, වෙබ් අඩවි නිසි පරිදි යාවත්කාලීන නොවන අවස්ථා ඕනෑ තරම් දක්නට ලැබේ. නමුත් ආණ්ඩු මාරුවෙන විට පාසල් පෙළපොත් වල අධ්‍යාපන ඇමතිවරයාගේ ඡායාරූපය නම් අසුරු සැනින් වෙනස් වෙයි.
පවතින පද්ධති නිසි පරිදි ක්‍රියාත්මක නොවෙනවායැයි කියා හෝ නිසි පරිදි ක්‍රියාත්මක නොකරනවා යැයි කියා ආණ්ඩු පෙරළීමේ උවමනාවක් මෙම ලියුම්කරුට නැත. මේ ආණ්ඩුව පෙරළා දැමුවොත් සියලු ප්‍රශ්න විසඳෙනවා නම් අපි හෙට ආණ්ඩුව පෙරලමු. කවුරු, කුමන ආණ්ඩුව බලයට පත් වුවද, වටුවන් සියල්ලම එකතුවී දැලත් සමගම පියාඹා ගියාසේ රජයේ නිලධාරීන් ද මහජනතාව ද එකාවන්ව සිතමින්, එකට කටයුතු කරමින් මෙම මජර වලෙන් හැකි ඉක්මනින් ගොඩ යාම සඳහා පෙළ ගැසිය යුතුය.
ජනාධිපතිතුමා උඩ සිට පහළට කළමනාකරණය කිරීමේ ක්‍රම වේදයක නිරතවී සිටින බව පෙනී යයි. ක්‍රමවේද, දැනුම, සාක්ෂරතාවය පවතින අවස්ථාවලදී, පහල සිට ඉහළට කළමනාකරණ වීමේ ක්‍රමය ද සිදුවිය යුතුය. මේ සඳහා ජනාධිපතිතුමාට උවමනාවක් ඇති පරිදිම ඊට පහලින් සිටින නිලධාරීන්ටද අවශ්‍යතාවයක් ඇතිවිය යුතුයි.
මෙවැනි දේවල් අප අත් විඳින්නේ මේ අද ඊයේ සිට නොවේ. නිදහස ලබා ගතවූ පසු ගිය දශක ගණනාව තුලම අප සමහර කාර්යයන් වලදී සහ වකවානුවලදී යම් සාර්ථකත්වයන් ලබා ගත්තද පොදුවේ රටක් වශයෙන් සෑහීමකට පත්විය හැකි තැනක නැත. හැම ආණ්ඩුවක්ම බලයට පත් වූයේ රට සංවර්ධනය කිරීමටයි. දළ ජාතික නිෂ්පාදනය, ආර්ථික වර්ධන වේගය පහල දමනවා යැයි කියා කිසිවකු බලය ලබා ගත්තේ නැත. කොහේ හෝ වැරදී ඇත. එසේ නැත්නම් අපි කොහේ හෝ වරද්දා ගෙන ඇත.
ෂම්මි උයනගේ
පරිගණක මෘදුකාංග ඉංජිනේරු
shammie@email.com


/cloudfront-ap-southeast-2.images.arcpublishing.com/nzme/CGODRWQ2YHXXWVLSN2W2BCHAIY.jpg)
