ගෝල්පේස් අරගලය (2022) හා කෝල්බෲක් කොමිෂම (1832)
Posted on May 28th, 2022

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

‘ලංකාවේ පොලිස් OIC ලා 184 දෙනාගෙන් 182 ක්ම පොහොට්ටු දේශපාලකයින් විසින් කරණ ලද පත්කිරීම්’– පොලිස්පති වික්‍රමරත්න ඔහුගේ ගැලවීමට දුන් උත්තරය

හැඳින්වීම

මෙය 2022 අප්‍රියෙල් 19 දා සිට ලියන මෙම ලිපි මාලාවේ හත්වන කොටසය. එම පෙර ලිපිවල මාතෘකාව වූයේ <ගෝල්පේස් වනාන්තරය, ගෝඨාභයගේ දෙවන යුද්ධය හා බෞද්ධ මධ්‍යම ප්‍රතිපදා විසඳුම> යන්නය.  මා ලියූ <වනාන්තර> අදහස මේ වනවිට තහවුරුවී ඇත. එය ජ්වීපි පෙරටුගාමි අන්තරේ අය සැඟවුන, තරුණ හා වයසක, කොළඹ කළු සුද්දන්ගේ කැළෑවකි. මහින්ද ඉවත්කර රනිල් අගමැති කිරීම ගෝඨාගේ <දෙවන යුද්ධයේ> ආරම්භයය. රනිල්, මියගිය මංගල සමරවීරගේ අවතාරයක්සේ පාවි නොයෑමට වගබලා ගැනීම ලේසි පාසු කාරියක් නොවේ. 2009 මැයි 18 දා අවසන්වුණ පලවෙනි යුද්ධය දිණන්න පුළුවන් යයි කී එකම ඉහළ රාජ්‍ය නිලධාරීයාවූයේ ඔහුය (තෝසේ කෑමට ගිජුවූ එරික් සොල්හයිම්ගේ වචන). හරීන්-මනුෂ දමණය හරියට බල්ලන් නාවන්න ඇදගෙන යනවා වගේය. ඔවුන් තාමත් කතාකරන්නේ ඇදේටය (bad-mouthing).

රට අරාජිකව කැබලිවී යාම  වැලැක්වීම

මීට කලින් සිටි ජනාධිපතිලා, අගමැතිලා කවුරුත් නොකල දෙයක්වන තමන්ගෙන් සිදුවූ වැරදි පිළිගෙන, නියත වශයෙන්ම සිදුවීමට යන,  රට අරාජිකව කැබලිවී යාම  වැලැක්වීමට අනිත් පක්ෂ දේශපාලකයින්ගේ කොන්දෙසි වලට යටනොවී,  රනිල්ට රාජ්‍ය සුක්කානම භාරදීම දෛවයේ සරදමක් සේ  ඔහු ගත් නිර්භීත පියවරකි. එය ලෝකයේ බොරු නියෝජිත ප්‍රජා-තන්ත්‍ර (නාස්ලණූ) වාදයේ ඉතිහාසයට එක්කල ගිනස් වාර්තාවක් නොවේද? (සූත්‍රය: චන්ද දායකයින් ලක්ෂ 69 + ලැයිස්තු මන්ත්‍රී 1 = රටේ හඳහන) ඇමෙරිකන් සිවිල් යුද්ධයේදී ලින්කන්ට නිතරමවාගේ තම සේනාධිපතිලා මාරුකර දැමීමට සිදුවිය. එළුවා පස්සේ යන නරියා මෙන් මෙම දේශපාලන මංගල්‍යය එන සතියේ… ලබන මාසයේ… කඩා වැටෙන තෙක් තලුමරමින් ඉන්නා දේශපාලකයින්, කළුසුද්දන් හා දෙස් විදෙස් තැරව්කාරයින් බොහෝය. හර්ෂ, චම්පික හා සරත් ෆොන්සේකාට තාමත් බස් එකේ ඉඩ තිබේ. 13-A ප්ලස් පප්පා වන දයාන් ජයතිලකගේ ලණු ගිල්ල සජිත් කරගත් අනුවණකම නම් අගමැතිකමට රටේ කෙනෙක් නැතිව ගෝඨාභය අසරණවේය යන නිගමනයය.

13 වන සංශෝධනය තිබෙනතාක්, මේ චන්දක්‍රමය තිබෙනතාක්, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම රට කැබලිවීයාමට හේතුවන බව පෝලිම් වල ඉන්නා කුපිතවූ ජනයා නොදනී. දේශපාලකයින් හා නිලධාරීන් කාලයක් තිස්සේ කල වැරදි නිසා අන්තිමේදී පුපුරාගිය මේ අර්බුදය, රට බංකොලොත්වීම, දඩමීමා කරගෙන, ජනයාගේ ඇස්වලට වැලිගසා, 1995 දී සිටම බොහෝ සිංහල  දේශපාලකයින් ගෙනගිය රට කැඩීමේ ව්‍යාපාරයට ඔක්ෂිජන් සපයමින්, සජිත්ලාත්, අරගලයත්, බාර් ඇසෝසියේසන් එකත්, දෙස් විදෙස් ngo නඩත්, ටැමිල්නාඩුවත්, ඊලම් අරමුදල් හා චන්ද ලබන කැනඩාව, එංගලන්තය වැනි බටහිර සුදු රටවල දේශපාලකයිනුත් ඉන්නේ, දේශ ද්‍රෝහී සිංහල බෞද්ධ විරෝධී, මාදුළුවාවේ සෝභිත හිමියන් රැවටුන තැටිය රත්වූ විට රොටිය පුච්චා ගැනීමේ හෙවත් කල දුටුකල වල ඉහගැනිමේ කුමණ්ත්‍රනයකය.

.

පැතුම්ගේ පැතුම, නිරාගමික සමාජයක්!

ගෝල්පේස් පිටියෙන් ඉවත්කරවී ඉන්නා දොස්තර පැතුම් කර්නර්, අරගලය <නිරාගමික> යයි කියන නිසා ඔහු විජේවීරගේ පුතා, උවිඳුගෙන් ඉතිහාස හා භූගෝල විද්‍යා පාඩමක් ලබාගත යුතුමය. මෙම කොටසේ මාතෘකාවට කෝල්බෲක් සාමිව සම්බන්ධ කරගන්නා ලද්දේත් ඒ නිසාමය. ලංකාව ප්‍රදේශ පහකට බෙදා ආරම්භ කල, කෝල්බෲක්ගේ සිස්ටම් එකෙන් ගැලවීමේ අවශ්‍යතාවය පැතුම් ඇතුළු අරගලකාරයිනුත්, බාර් ඇසොසියන් කට්ටිය, පක්ෂ දේශපාලකයින් 1931, 1948 කාලවල සිට මේ දක්වාම වටහාගෙන නැත්තේ ඔවුන් රටේ ඉතිහාසය නොදත් කළුසුද්දන්වීම නිසාය. කාල් මාක්ස් බුදු දහම ගැන දැන සිටියා නම් ඔහු ආගම අබිං කියන්නේවත්, සමහරවිට ඔහුගේ දුවක් සියදිවි නසා ගන්නේවත් නැත.

බුදු දහමේ දුක්ඛ සංකල්පය පසු කාලයක උපන් මැක්ස් වෙබර්ට තේරුණේද නැත. 1935 සිට 1964 දක්වාම ලංකාවේ මාක්ස්වාදීන් නන්නත්තාරේ යන්නේවත්, 1971, 1988/9 දී jvp කැරලිකරුවන් කෲර මිනිස් ඝාතන කරන්නේවත් නැත. 2022 දී උමංදාවට පහරදීමත්, ගීතා කුමාරසිංහගේ සම්මාන කුඩු කිරීමත් නිරාගමිකවීමේ විපාකය. ලෙසබියන් ජෝඩුවල වුනත් පිරිමි සතෙක් හා ගෑණු සතෙක් ඉන්නවා මෙන් <නිරාගමික> කියන්නේද ඕමාර් ඛයියාම් වර්ගයේ තවත් ලබ්ධියකි. සිස්ටම් චේන්ජ් එක කජු කනවා වගේ යයි සිතමින් පොර ටෝක් දෙන, කෝනාරගේ සැබෑ කැරට්ටුව එලිකරමින් ඔහුගේ පෙම්වතිය රටට කල අනාවරණය බොරුවක්ද? පොලිස් බැරියර් කඩන්නට යන අන්තරේ ගෝලයින්ගේ වියරු මුහුණුවලින් එලිවන්නේ විචාර බුද්ධියෙන් තොර අන්ධ ලබ්ධියක්ය.  දුවන්නන් වාලේ අනුන් පස්සේ ඔහේ දුවන යම් ආකාරයක වහල් මනසක්ය. ගාන්ධි සිටියා නම් මොනවා හිතයිද?

මේ අරගලය වනාහී, ගෝල්පේස්, අරලියගහ මන්දිරය හා ජනාධිපති නිල නිවස අසල කෑගසමින් <තරුණයින්> විසින් ඉල්ලමින් සිටින, හා විශේෂයෙන් 69 ලක්ෂයක් ගෝටාභයට චන්දය දුන් ජනයා විසින් ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක නම් (හිට්ලර් කෙනෙක්වී හෝ රට හදන්න!), දැන් ඊට විරුද්ධවන කිසිවෙක් නැත. මෙසේ වෙනත් පාපකාරී, සිංහල බෞද්ධ විරෝධී jvp, සජබ, TNA යනාදී කොටස්, අරගලය තම න්‍යායපත්‍ර වලට පාවිච්චි කිරීමක් බව ඇත්තවශයෙන්ම අවංක යයි සිතිය හැකි, එහෙත් දැණුම හා දැකුම අතින් නොමේරු තරුණයින්ට තවමත් ඒත්තු ගොස් නොමැති බව එම දුෂ්ට ක්‍රියාව (උමංදාවට පහරදීම හෝ ගීතා කුමාරසිංහගේ සම්මාන කුඩුකර ගෙය විනාශ කිරීම වැනි ) හෙලා දකින පෝස්ටර් තවමත් නොමැතිවීමෙන් පෙනේ.

බුදු දහම ආගමක් නොව අධ්‍යාත්මික/විද්‍යාත්මක දර්ශනයකි

තාරුණ්‍යයට අවංකභාවය හා එඩිතරකම තුබුණත්, රැවුල් වැවීම හැර ජීවන යාත්‍රාව ගැන අත්දැකීමක් නොමැති නිසාවෙන් ඔවුන්ට මහ පොලොවේ යථාර්ථය නොපෙනේ. රටේ ඉතිහාසය හා භූගෝල විද්‍යාව නොදන්නා නිසා ඔවුන් සිංහල බෞද්ධ විරෝධී සන්නස්ගලගේ බුදුන්ගේ රස්තියාදුවට යටවී ඇත. කාදිනල් විසින් රටපුරා සටන් කරණ ලෙස ඉල්ලීමත්, උමංදාවේ හාමුදුරුවන් බෞද්ධ විසඳුම් ක්‍රියාවෙන්ම පෙන්වා දීමත් අතර වෙනස එයය. සජිත්ගේ සජබය පෙරටුගාමීන් හා රහස් සාකච්චා කරන්නේත්,  jvp නායකයින්, ලෝකේ කා වතුර බීපු චරිතයක් වන, ඇමෙරිකන් තානාපතිනිය සමඟ  සාකච්චා කරන්නේත් මේ වෙනස, දැනුමේ අඩුව, නිසාය. අරගල අදහස අනුමත කරණ උමංදාවේ හාමුදුරුවන් අවුරුදු පහකට තමන්ට රට භාරදෙන ලෙස කරණ ඉල්ලීම අරගලයට සහාය දෙනවා කියන අගමැති රනිල්ට කරණ විවෘත අභියෝගයකි. ඒ හාමුදුරුවන්ට තිබෙන්නේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ ආභාෂයය. එය රටේ 2600 කට වඩා පැරණි ඉතිහාසය හා භූගෝල විද්‍යාව (ඉතිහාසය කියන්නේ අතීත භූගෝල විද්‍යාවටය) පිළිඹඳව ඇති දැණුමෙන් පෝෂණය වූවකි.

සිතීමේ නිදහස – එව බලව (come and examine)

අන්තරේ හරියට, jvp -පෙරටුගාමීන්ගේ කුලී හේවා පිරිසක් වගේයයි ගැමියෙකුවූ අළුත් උප කතානායක කල ප්‍රකාශය පිළිඹදව ගැඹුරින් සිතා බැලීමට අවස්ථාවක් මට ලැබුනේ Reader’s Digest (June 2022) සඟරාවේ පලවූ ‘I never thought of it that way: how to talk to people even if you disagree’ යන ලිපිය කියවූ විටය. ගම්වල දුකසේ කාලය ගතකර විශ්ව විද්‍යාලයට ගියදා සිට jvp-පෙරටුගාමී අඥාදායකත්වයට (ගල් රෝලට) මිරිකී ජීවත්වන සිසුන්ගේ මනසට වෙනත් කිසි සමාජ-දේශපාලන-ආගමික අදහස් ඇතුළුවීමට අවකාශයක් නැති නිසා ඔවුන්ගේ මොලය ඒ අංශයෙන් අකර්මණ්‍යවී ඔවුන් නායකයින්ගේ මානසික වහළුන් බවට පත්වෙන්නේය. මා මේ ලිපියෙන් පෙන්වාදෙන්නේද ඕනෑම පංචස්කන්ධයට සිදුවිය හැකි මෙම අකරතැබ්බයය. අනිත් පුදගලයාගේ අදහස්, මත, ගැන විමසා දැනගැනීමෙන්, තමන් ගේ අදහස් වඩාත් ඵලදායි කරගෙන මානසිකව හා භෞතික/ප්‍රායෝගික සතුටින් පිරි ජීවිතයක් ලඟාකර ගත හැකි අන්දම මෙම රීඩර්ස් ඩයිජෙස්ට් ලිපියට අදාල පොත ලියූ  Monica Guzman පැහැදිලි කරයි (යුද්ධයක් වුවත් දිනන්නේ සතුරාගේ ප්ලෑන් අධ්‍යයනය කිරීමෙන්ය). මේ අනුව සිතන විට අන්තරේට කඩේයන සිසුන් ඔල්මාදයකින් (delusion) පෙලෙන ලෙඩ්ඩුන් වැනිය.

මොනිකාගේ තේමාව සමානකල හැක්කේ බුදු දහමේ ඉගැන්වෙන එව බලව  රීතිය සමඟය. අනිත් ලබ්ධීන් කියන්නේ එව අදහව කියාය (come and believe). උදාහරණයක් වශයෙන් ඉස්ලාම් ලබ්ධියට අනුව දවස්ට පස් වරක් මක්කම දෙසට හැරී යාඥා කල යුතුය. විශ්ව විද්‍යාල හාමුදුරුවරු පාරේ කඳුළු ගැස් කන්නේ බුදුදහමේ ඇති නම්‍යශීලී බව අවභාවිතා කරමින්, ඔවුන් ivp පෙරටුගාමී සබන් පැක්ටරියෙන් පිටවෙන සබන් කෑලි නිසාය. කතෝලික ක්‍රිස්තියානි පල්ලිවල මෙන් රෝමයේ පෝප්ගෙන් එන චක්‍රලේඛන නැති නිසා ලංකාවේ පන්සල් වල සිවුර කැලයක් කරගෙන හොර වැඩ කරණ හාමුදුරුවරු එමටය. මාක්ස්වාදීන්ද මේ එව අදහව ලබ්ධීන් ගනයට අයත්ය.

මෙහිදී සන්නස්ගල-සේපාල් යනාදීන් අමතක කරණ දෙයක් නම් ඉන්දියාවේ හා වෙනත් බොහෝ රටවලින් (සවුදි අරාබියේ පවා බෞද්ධ නටබුන් හමුවී ඇත) බුදු දහම නැතිවී ගියේ කුමක් නිසාද යන්නත්, ලංකාවේ එය රැකුණේ කෙසේද යන්නත්ය.  බෞද්ධ දර්ශනය හා ත්‍රිපිටකය සේපාල්ගේ ආච්චිට රැක දුන්නේ ලංකාවේ හාමුදුරු පරම්පරාය. මෙම සංඝ සංස්ථාව මේ වනවිට මුහුණපා සිටින මූලික ප්‍රශ්ණය නම් දුශ්ශීලයයි හඳුනාගත් භික්ෂූන් නෙරපා දැමීම සඳහා අවශ්‍ය සංඝාධිකරණයක් පිහිටුවීමට සිංහල පක්ෂ දේශපාලකයින් ක්‍රියානොකිරීමය. මේ නිසා යම් දුශ්ශීල භික්ෂුවක් සිටී නම් ඔහුව එලිකරනවා මිස, හීරේ යාමට පෙර රන්ජන් රාමනායක කලා මෙන් සිවුරට පොදුවේ නිග්‍රහ කිරීම දුෂ්ට ක්‍රියාවකි. අරගල භූමියට එන හා පාරේ කදුළු ගෑස් කන හාමුදුරුවරු යහපත් අය ලෙසත්, අනිත් හාමුදුරුවරු දේශපාලකයින්ට කඩේ යනවා කීමත් ව්හිළුවකි.

ලිච්චවි මාවත හා කෙළෙස්පිරි පංචස්කන්ධ

රනිල් අගමැති , විජේදාස අධිකරණ ඇමති, ජනාධිපති ගෝටාත් සිස්ටම් චෙන්ජ් එකට එකඟ නිසා <ගෝටාගෝහෝම්> යන කතාව පස්සට දමා, නම්‍යශීලීව, මධ්‍යම ප්‍රතිපදාවට අනුව යමින්, බොහෝ සිස්ටම් චේන්ජ් වැඩ දැන් ඉෂ්ට කරගත හැකිය. Jvp, පෙරටුගාමී-අන්තරේ හිතන ආකාරයේ විප්ලවයෙන් කරන්නට යන සිස්ටම් චේන්ජ් එකක් වෙනුවට, ලිච්චවි පාරේ යමින් ගත හැකි පියවර රාශියක් ඇත. ලේ වැගිරෙන රට විනාශමුඛයට දමන ලිබියා මාවත ලංකාවේ සිංහල බෞද්ධ ජනයා අනුමත කරන්නේ නැත. උමන්දාවේ හාමුදුරුවන් දෙන අවවාද අරගලයේ තරුණයින් විසින් අනුගමනය නොකර මුරන්ඩු, මුග්ධ හා අසාධාරණ ලෙස හැසිරීමෙන් අරගලය වෙනුවෙන් මේ වනවිට කතාකරණ තරුණයින් හා පුරෝහිතයින් වන සේපාල්, දර්ශන හඳුන්ගොඩ, බ්‍රදර් චාල්ස්, සන්නස්ගල, සුදත්ත තිලකසිරි, අභිශේකා ප්‍රනාන්දු කෙළීලා, තරිඳු උඩුවරගෙදරලා, රට බලවත් ව්‍යසනයකට ඇද දමන්නේය. හිරු නිව්ස් ඇත්ත වැඩසටහනේදී අන්තරේ මුදලිගේ අළුත්ම සාකච්චාවේදී දුන් පිළිතුරු වලින් පෙනීගියේ ඔහුට නොතේරෙන දේ කෙතරම්ද යන්නය.

සන්තානගත විප්ලවය හා බාහිර විප්ලවය

1977 දී JR වෙනුවෙන්, ධර්මිෂ්ට සමාජයක් ගොඩනැඟීම උදෙසා රට වටේ ගිය, බෞද්ධ දර්ශනය පිළිඹඳ මහාචාර්යවූ W. S. කරුණාරත්න, රටවැසියාගේ සිත් තුල අභ්‍යන්තර විප්ලවයක් සිදුවිය යුතු යයි පෙන්වා දුන්නේය. එහෙත් අදවන විට සමාජය කෙතරම් පිරිහී, අශීලාචාරවී ඇද්ද යන්න රටේ උත්තරීතර ආයතනය යයි කියන දියවන්නා හෝටලයේ අයගේ හැසිරීමෙන්ම පෙනේ. ලංකාවේ තිබෙන ප්‍රශ්ණය නම් නීති නැතිකම නොව අවංක දේශපාලකයින් නැතිකමය. කෙතරම් හොඳයයි සළකන ව්‍යවස්ථාවක් වුවත් දුෂ්ට පුද්ගලයින් විසින් අවභාවිතා කරන්නේමය. අනිත් අතට නරක යයි සළකන ව්‍යවස්ථාවක් වුවත් ගුණවත් පුද්ගලයින් විසින් සැබෑ යහපාලනයක් පිණිස යොදාගන්නේය.

අවංක නොවීමේ විපාක

මෙතරම් අමාරුවේ වැටී සිටියදීත් මේ දේශපාලකයින් අමු අමුවේ අතේ පත්තුවෙන බොරු කියන්නේ ලැජ්ජා-භය නැතිවය. අරුන්දික ප්‍රනාන්දු ඔහුගේ පයිලට් සහතික ගිනිබත් කලා යයි කියුවත් ඔහු පයිලට් කෙනෙක් වශයෙන් ගුවන් හමුදාවේ සේවය නොකල බව ගුවන් හමුදාව පෙන්වාදේ. හරීන් ප්‍රනාන්දු ඇමතිකම භාර ගත්තේ අප්පිරියාවෙන් ජනාධිපතිගේ මුණවත් නොබලා යයි මාධ්‍යවලට කිව්වත්, එය ගල් පැලෙන බොරුවක් විය. මින් ලැබෙන අනතුරු ඇඟවීම නම් මේ අළුත් කැබිනට් පිරිස රටගොඩ ගැනීමට ඇත්තවශයෙන්ම කැපවූවන්ද යන්නය. මහජන බැංකුවට බිලියන දෙකක පොල්ලක් තැබුවා යයි කෝප් කමිටුවේදි එලිවු දයා ගමගේ වැන්නෙක් අළුත් අගමැති රනිල් ලඟ පන්සලේ සිටීම හා එය එලිවූ විට බැංකුවේ ලොක්කා මන්ත්‍රී රාසමානික්කම්ට එවූ ලිපිය මෙහිදී අප සිත් සසළ කරලයි.

රෝහණ විජේවීරගේ අන්තිම කැමැත්ත

රෝහණ විජේවීරව අල්ලාගත් විට ඔහු, ඔහුගේ ක්‍රිස්තියානි බිරිඳගෙන් කල ඉල්ලීම වූයේ දරුවන් ක්‍රිස්තියානි නොකරන්නය යන්නයයි මා අසා ඇත. උවිඳු විජේවීරට බෞද්ධ පදනමක් ලැබුණේ මේ නිසා වියයුතුය. පැතුම් කර්නර්ගේ කතාවලදී රටේ සිංහල බෞද්ධ පදනම ගැන, මධ්‍යම ප්‍රතිපදාව දර්ශනය ගැන ඔහු දන්නා බවක් එලි නොවේ. මේවා බයිපාස් කරමින්, නොසළකා හරිමින් යා හැකි ප්‍රගතියක් නැතිවග ඔහුට ඉක්මණින්ම වැටහුණ තරමට හොඳ වන්නේ අරගලයේ නියෝජිතයින් අන්තවාදී ලෙස කතාකරණ නිසාය. ජාතිවාදය හා ජාතික වාදය පටලවා ගෙන  ඉන් ගැලවීමට වාසුදේවට සෑහෙන කාලයක් ගතවිය. බල්ලව නාවන්න ඇදගෙන යනවා මෙන් මේ 225 සිස්ටම් චේන්ජ් එක සඳහා බලෙන් තල්ලු කල හැක්කේ අරගලයේ තරුණයින්, බුද්ධිමත්, යුක්තිගරුක, මධ්‍යම ප්‍රතිපදාව අනුගමණය කරණ බලවේගයක් වශයෙන් ක්‍රියාත්මකව, එම තල්ලු කිරීමට සහභාගී විමෙන් පමණය. උදාහරණයක් වශයෙන් මේ අවස්ථාවේ චන්දයක් ඉල්ලීම හා ගෝටාගෝහෝම් කීම අඥාන ක්‍රියාය.

යුද්ධය පරදින සිස්ටම් හා යුද්ධය දිණූ සිස්ටම් එක

තිස් අවුරුදු යුද්ධයක් අවුරුදු තුනකටත් අඩු කාලයකින් නිමකල හැකිවූයේ පැවති යුද්ධ කිරීමේ සිස්ටම් එක වෙනස් කිරීමෙනි. මේ අන්දමට 1978 න් පසු ලංකාවේ පවතින චන්ද සිස්ටම් එකද ඊට පෙර තිබූ සිස්ටම් එකට ගෙනයාමට බලකිරීම ගෝල්පේස් අරගලයේ ප්‍රධානම ඉල්ලීමක් විය යුතුව තිබුණේය. JR හා ප්‍රේමදාසගේ චන්ද සිස්ටම් එක රට විනාශකල සිස්ටම් එකක් විය. 21/22 සංශෝධන වල මේ ගැන නිහඬය. ජනාධිපති හා අගමැති දැන් සඳුන්ගසේ එතෙන සමන් වැලක්සේ ක්‍රියාකරණවා සේ පෙනෙන නිසා ද්විත්ව පුරවැසියන් ගැන ඇති සංශෝධනය මිස වෙන කිසිවක් හදිසියේ ලහි ලහියේ කිරීමට යෑම ජුගුබ්සාජනකය. ජාතික සංවිධාන එකමුතුවේ ගුණදාස අමරසේකර මහතා පෙන්වා දෙන්නේද මේ කලබලයෙන් කරන්නට යන්නේ අනවශ්‍ය දෙයක් යන්නය.

රට ආහාර හිඟයකින් බේරා ගැනීම හා පෝලින් නැති කිරීම හැමෝගේම ප්‍රධාන කාර්යය විය යුතුය. තම වෘත්තීය සමිති මඟින් චන්දය නොමිලේ කරදෙන්නට ඉදිරිපත්වන jvp එක එම සංවිධාන ශක්තිය, ලැබෙන තෙල්, ගෑස්, භූමිතෙල් වත් නිසියාකාරව බෙදා හැරීමට අපොහොසත්ව සිටින රාජ්‍ය යන්ත්‍රනයට ලබාදීම ඔවුන්ට සිය චන්ද ප්‍රතිශතය වැඩිකර ගැනීමට හේතු උපකාර වනු ඇත.

මත්ස්‍ය න්‍යාය, හීනමානය හා මරණ භය

ලංකාවේ සමාජය මෙතරම් අශීලාචාර, ප්‍රචන්ඩ, ආත්මාර්ථකාමී, දීන මාන්සිකත්වයක් ඇති මිනිසුන්ගෙන් පිරි රටක් බවට පත්වුනේ, පෙරළුණේ, කෙසේද යන ප්‍රශ්ණයට සරල උත්තරද තිබේ.

1. පක්ෂ දේශපාලකයින් විසින් ජනයා රතු, නිල්, කොල වශයෙන් බෙදා පාලනය කිරීම (සුද්දාටත් වඩා හොඳින් කළුසුද්දා මෙය කලේය) දේශපාලකයා ජාවාරම්කාරයෙක් විය

2. ගම දඩමීමා කරගෙන කොන්ත්‍රාත් ක්‍රමය හරහා දුගී හා හිඟාකණ ගමක් බිහිකිරීම. සංවර්ධනය වන, දියුණු රටක් කියන්නේ බටහිර දේ කොපිකරණ, නැවෙන් බඩට ණයට කන සමාජයකට නොවේ.

3.වැසියා අලස ජීවිතයකට ණයට කන පිරිසක් බවට පත් කිරීම නිසා මේ වන විට පිටිපස්ස බිම ඇණුන, ආණ්ඩුවට දෙස් තියන පෝලිම්වල දුක්විඳින පංචස්කන්ධවී සිටීම.

4.වැසියා ගම්මටටමේ සිටම දේශපාලකයාගේ වහලෙක් බවට පත්කිරීම මඟින් සුද්දාගේ කාලයේ ඇතිකල හීනමානය තව තවත් තීව්‍ර කිරීම

5. 1977 සිට JR-RP දෙන්නා විසින් නිදහස් වෙළඳ පොල ආර්ථික ක්‍රමය යටතේ ලොකු මාළුවා පොඩි මාළුවා ගිලගන්නා මත්ස්‍ය න්‍යාය රජකරවීම හා ඉන් පසු බලය අල්ලා ගත් අය එය දිගටම අනුගමණය කිරීම. මේ නිසා සල්ලි දෙයියන්ගේ මල්ලිවී, ජනයා මුදල් උදෙසා ඕනෑම ජඩ වැඩක් කරණ මැස්සන්ගෙන් බැටකන වලිගේ නැති ගොන්නු වීම.  දොස්තරලා හා ලෝයර්ලාද ටියුෂන් දෙන රජයේ පාසැල් ගුරු පිරිස්ද මෙම විපරියාසයට යටවිය.

6. තිස් අවුරුදු යුද්ධය නිසා මිනිසුන්ගේ යටිහිතේ කිඳා බැස තිබූ මරණ භය නිසා අසරණව දැඩිසේ ආත්මාර්ථකාමීවී, භය මතුවී ලැජ්ජාව යටට කිඳා බැස අතුරුදහන් විය.

7. මැද පෙරදිග වැසිකිළි සේදීමට ගම්වල ගැණුන් යවා ඔවුන් ආපසු එනවිට හීනමානයෙන් පිරි මානසිකව වැටුණු පිරිසක්වීම හා ඔවුන්ට කිසි මානසික හෝ වෙනත් වෛද්‍ය හෝ ශුභසාධක සේවයක් නොලැබීම. මෙම වහල් සේවය නිසා අම්මා ගෙදර නැති ගෙවල් වල දූ දරුවන් අනාථවීම

8. සුද්දියන්ගේ යට ඇඳුම්, ජංගි මැසීම සඳහා මුලින් ඇරඹුණා කියන ගාමන්ට් පැක්ටරි ක්‍රමය යටතේ ගම්වල තරුණියන් කාමුක සුපවයිසර්ලාගේ අර්ධ-වහල් සේවිකා පිරිසක් ලෙස තම තරුණ ජීවිත අපේක්ෂා බංගත්වයට පත්වීම

9.තරුණයින් ලේසි ජීවන ක්‍රමයක් ලෙස ත්‍රීවීල් රියදුරන්වීම. කොරියාවට හෝ වෙන ඕනෑම රටකට යෑම ඔවුන්ගේ අනාගත අභිප්‍රායය.

10. jvp හා පෙරටුගාමී පක්ෂ විසින් විශ්ව විද්‍යාල සිය ග්‍රහණයට ගෙන ඒවායේ ශිෂ්‍යයින් තම වහළුන් කර ගැනීම

11. විශ්ව විද්‍යාල ගුරුවරුන්ගේ නොමනා දේශපාලනය හා රාජකාරිය නිසිලෙස ඉෂ්ට නොකිරීම

12. තරඟකාරී 5 ශිෂ්‍යත්ව විභාග, OL-AL විභාග, ටියුෂන් යන්ත්‍රයකට යටවීම නිසා මඟින් තරුණ පරම්පරාවල ළමා-ගැටවර කාලය විනාශ කිරීම

මෙම කාරණා 12 ට අමතරව තව කොතරම් දේ ඇද්ද? මේ කාරණා වල කලවම් වීමෙන් ඇතිවෙන කොක්ටේල් එක මොනතරම් උද්වේගකාරී, කඩාකප්පලකාරී සමාජයක් බිහි කර තිබේද? මිට අමතරව සංඝ සමාජයේ ඇතිවී තිබෙන පරිහාණිය තරුණ පරම්පරා නරුමයින් කිරීමට බලපා ඇත. ඉරිදා දහම් පාසැල දවසේ ටියුෂන් පන්තියට නොගිහින් පුළුවන්ද යන ප්‍රශ්ණය අසන්නේ දෙමව්පියන්ය!

බාහිර, විදේශ බලවේග

ලංකාවේ සිස්ටම් චේන්ජ් කතාවට , පිටින් රටට එන බලපෑම් අමතක කල නොහැකිය.

1. ලෝකය ක්‍රිස්තියානි කිරීමේ ව්‍යාපාරය. අයුතු ලෙස අන්‍යාගමීකරණය

2. ශාරියා-වහාබි ඉස්ලාම් ව්‍යප්තවාදය (අරාබිකරණය)

3.බටහිර දේශපාලකයින් උඩගෙඩි දෙන ඊලම් ව්‍යාපාරය

4. මල්ටිනැෂනල් යෝධ කොම්පැනි (Multinationals come to Africa to steal, to create conflict and finance armed groups. Despite its riches Africans still remain poor, National Geographic, June 2022, p.10). මෙම කියමන ලංකාවටද අදාලය.

5.රාජ්‍ය නොවන ලෝක සංවිධාන (INGO) හා ඒවාට ඇමුණුන ලංකාවේ NGO

6. රටතුල ක්‍රියාත්මකවන විදේශ ඔත්තු සේවා

7. විදේශ තානාපති කාර්යාල විසින් එලිපිටම කරණ සිවිල් මැදිහත්වීම්. මේ රටවල් ලංකාවේ තානාපතිලාට ඒ රටවල කටයුතු ගැන කතාකරන්නට ඉඩ දේවිද?

8. හැම ලබ්ධියක්ම එකයි කියනා, ඉන්ටර්ෆේත් ආක්‍රමණය (හරක් මරණ ලෙබ්බේලා සමඟ හාමුදුරුවරු එක මේසේ ඉඳගෙන අනුභව කිරීම)

9.පාත් ෆයින්ඩර් ආයතනය හරහා එන MCC ට්‍රෝජන් අස්පයා

10.WTO ලෝක වෙළඳ සංවිධානය හරහා එන වානිජ ආධිපත්‍යය (කොතල හිඹුටු හොරාකෑම වැනි)

අරගල කරුවන්ව ගොනාට ඇන්ඳවීම

සිස්ටම් චෙන්ජ් එකක්  කිරීමේදී වැදගත්ම දේ නම් මහජනයාට බලය පැවරෙන සිස්ටම් එකක් ඇති කිරීමය. බොරු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට සම්මුතිවාදය ගමට ගෙනයාමය. මේ වෙනුවට හැමදෙනාම කතාකරන්නේ මධ්‍යම ආණ්ඩු ක්‍රමය වෙනස් කිරීම ගැනය. 19 ට ආපසු යෑම්, 19 ප්ලස්, 21, 22 සංශෝධන, වහාම චන්දයකට යෑම යනාදිය බොරු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නම් ඌරාට ලිප්ටික් ගෑමක් වැනිය.

කෝල්බෲක් විසින් 1832 දී ඔවුන්ගේ වාසිය හා සූරාකෑම පිණිස ඇතිකල පාලන ක්‍රමය හා ජාතිවාදී නියෝජනය පලාත් සභා නමයක් වශයෙන් අදටත් රට විනාශ කරමින් පවතී. 1818 හා 1848 කැරලි දෙක අතරදී කෝල්බෲක් සාමි කලේ, ඉන්දියාවේදී මැකෝලි සාමි කලා මෙන් (Indian Education Minute, 1835) කළු සුද්දන් පිරිසක්  බෝකිරීමට පදනම දැමීමය. මීට විරුද්ධව වලානේ සිරි සිද්ධාර්ථ හිමියන් විසින් පානදුරේ සිට <සටන් බිම> දෙසට පැමිණ, රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන ආරම්භ කලේය (1841). රටට සම්පත්වූ විද්යෝදය (හික්කඩුවේ ශ්‍රී සුමංගල, 1873)  හා විද්‍යාලංකාර (රත්මලානේ ශ්‍රි ධර්මාලෝක, 1875) මහ පිරිවෙන් දෙක පිහිටුවූයේ උන්වහන්සේගේ ගෝලයින් දෙනමක් විසින්ය.

කළුකොඳයාවේ මොඩලය: ගම-වැව-දාගැබ,  සමාජ ආර්ථික ත්‍රිත්වය

1940 ස් ගණන් වලදී විද්‍යාලංකාර හා විද්යෝදය පිරිවෙන් කෝල්බෲක් ක්‍රමයෙන්, කොළඹ පැරඩයිම් එකෙන්, කළුසුද්දන්ගේ පාලන රටාවෙන්, රට ගලවා ගැනීමට බලවත් උත්සාහයක් ගත්තේය (එක් නිදසුනක් නම් අගනුවර අනුරාධපුරයට ගෙනයාමේ ඉල්ලීමය). විද්යෝදයේ කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර හිමියන් ඉතා සාර්ථක ලෙස ආරම්භකල දීප ව්‍යාප්ත, අපරාද මර්දන හා ග්‍රාම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයට, ඩී. බී. ජයතිලක, ඩී. එස්. සේනානයක හා S.W.R.D බණ්ඩාරනායක යන ඩොනමෝර් ඇමතිලා සහායක් දුන්නේ නැත. මැලේරියා පලාත්වලට ලොරි වලින් ගොස් බඩු බෙදාදුන් මාක්ස්වාදීන් ඊට සහාය නොදීම පුදුමයට කරුණක් නොවේ.

ලංකාවේ  අද ඇති අර්බුදයට කළුකොඳයාවේ මොඩලය කෙතරම් උචිතද  යන්න අරගලයේ පිරිස් හෝ රනිල්-විජේදාස ඇතුළු කැබිනට් හා රාජ්‍ය ඇමතිලා දන්නේ නැත. ගෝඨාභයගේ චන්ද ප්‍රකාශනයේ ජනමූල සභා ගැන සඳහන් වූවා පමණය. ලංකාවේ ඇත්තේ භූමිය මත පදනම්වූ  සමාජ-ආර්ථික විෂමතාවක්, අයුක්තියක්, අසාධාරණයක් බව අවභෝධ කරගෙන  (spatial inequality/inequity), ජන සභා හරහා ක්‍රියාත්මක වන සම්මුතිවාදී දේශ-පාලනයකට (consensus) යෑම නියම සිස්ටම් චේන්ජ් එකය. එය කෝල්බෲක් ක්‍රමය වෙනුවට රටේ භූගෝල විද්‍යාවට හා සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයට  අනුගත වීමකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress