විදේශ ණය ඇ.ඩො.මි. 788 කින්, දේශීය ණය රු. බි.  490 කින් වැඩිවී ඇත.
Posted on June 7th, 2026

2026 ජූනි 7 පුවත්පත් නිවේදනය රජිත් කීර්ති තෙන්නකෝන්

2026 වසරේ පළමු කාර්තුවේ ඉලක්කම් විජ්ජාවක ප්‍රබන්ධය

නමුත් සත්‍යය නම් මේ වසරේ පළමු මාස 3 තුල පමණක්, මෙරට විදේශ ණය ඇ.ඩො.මි. 788 කින් ද,  දේශීය ණය රු. බි.  490 කින්  වැඩිවී ඇත.

රාජ්‍ය ණය කලමනාකරණ දොපාර්තමේන්තුවේ නිල වාර්තා අනුව, ගෙවන ලද මුලික මුදල (Principal Amount) ඩො.බි. 5.98 කි. ණය පොලී වටිනාකම  ඩො.බි. 2.11 කි. එකතුව 8.094 කි. එය කරුණු වශයෙන් ගත් කළ සත්‍යයකි.  නමුත් මෙම මුදල් ගෙවා ඇත්තේ ඩොලර් වලින් නොව ශ්‍රී ලංකා රුපිියල් වලිනි.   එසේ ගෙවන ලද මුදලට ආසන්න මුදලක් නැවතත් භාණ්ඩාගාර බිල්පත් හා සුරැකුම්පත් නිකුත් කර දේශීය ණය වශයෙන් ලබාගෙන ඇත.

විදේශ ණය පියවීම

ශ්‍රී ලංකා රජය 2026 පළමු කාර්තුවේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරිමට අනුව බහුපාර්ශවීය ආයතන වෙත ඩො.මි. 234 ක් ද, ද්විපාර්ශවීය ණය හිමියන් ට ඩො. මි. 207 ක් ද, පුද්ගලික ණය හිමියන්ට ඩො.මි. 89 ක් ද ලෙස ඩො.මි. 530 ක් ගෙවා ඇත.  මේ  ඩො.මි. 530 හැර මේ කාර්තුව තුල වෙනත් විදේශ ණය හෝ පොලී ගෙවීමක් ඩොලර් වලින් සිදු කර නැත.  

2026 වසරේ දී ලංකා රජය බහු පාර්ශවීය හා ද්විපාර්ශවීය ණය හිමියන්ට ඩොලර් බිලියන 2.7 ක් ගෙවිය යුතුය.   2026 ජූනි දක්වා එයින් ඩො.බි. 1.3 ක් ගෙවා ඇත.  තවත් ඩො.බි. 1.4 ක් මේ වසරේ ඉදිරි මාස 6 තුල ගෙවිය යුතුව ඇත.

 

විදේශ ණය වැඩිවීම

පසුගිය සතියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ලංකාවට ඩො.මි. 695 ක් ලැබී ඇත.  ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඩො.මි. 450 ක් ද, ලෝක බැංකුව මගින් ඩො.මි.  200 ක් ද ඉදිරියේ දී ලබාගැනීමට නියමිතය. එයට අමතරව ව්‍යාපෘති ණය ලෙස තවත්  ඩො. මි. 100 ක් ලැබීමට ඇත.  සරළව මෙම ඩොලර් වලින් මේ වසරේ ගෙවීමට ඇති ණය ප්‍රමාණය ගෙවූ විට, වෙනත් ඉතිරියක් බලාපොරොත්තු විය නොහැකිය.  මේ සියළු ලැබීම් හා ගෙවීම් ජා.මු.අ.  ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට අදාළව 2022 – 2023 දී ගිවිසුම් ගත එකඟතාවයන් ය.

දේශීය ණය ගෙවීම්

ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය විසින් කල් පිරුණු භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර සුරැකුම්පත් සහ දේශීය බැංකු වෙත ව්‍යාපෘති ණය ලෙස ගෙවිය යුතු රුපියල් ණය ප්‍රමාණය පහත වගුවේ ඇත.   

භාණ්ඩාගාර බිල්පත්, සුරැකුම්පත් හා දේශීය බැංකු වෙත ගොවිය යුතු ව්‍යාපෘති ණය වෙනුවෙන් ඇ.ඩො. බිලියන 7.56 කට සමාන රුපියල් ප්‍රමාණයක් 2026 පලමු කාර්තුව තුල ගෙවා ඇත. එයින් ඩො.බි. 1.59 කට සමාන රුපියල් ප්‍රමාණයක්  පොලී වශයෙනි.  ගෙවීමට ඇති දේශීය ණය වාරික ලෙස ඇ.ඩො. බිලියන 5.975 කට සමාන රුපියල් ප්‍රමාණයක් ගෙවා ඇත.

එසේ පියවා ගත් මුදල් නැවත ලබා ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් දේශීය භාණ්ඩාගාර බිල්පත් හා සුරැකුම්පත් පෙරළා නිකුත් කර (රොල් ඕවර්) කර ඇත. එබැවින් මේ ගෙවීම් හේතුවෙන් රටේ සමස්ත ණය ප්‍රමාණයේ සැලකිය යුතු වෙනසක් සිදුව නැත.

2026 අලුතෙන් එකතු කරගත් ණය කන්ද

2026 පලමු කාර්තුව තුල නිකුත් කර ඇති භාණ්ඩාගාර බිල්පත් හා සුරැකුම්පත්වල වටිනාකම (රුපියල් ණය) රුපියල් බිලියන 1,210 (ඇ.ඩො.බි. 3.84)  කි. භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව මගින් තවත් රුපියල් බිලියන 720 ක් (ඩො. බි. 2.30) ක් ලංකාව අලුතෙන් ණය වී ඇත.   

2026 පළමු කාර්තුව තුල, අලුතෙන් ලබාගත් දේශීය ණය ප්‍රමාණය රු. බිලියන 1930  (ඇ. ඩො.බි.  6.04කට සමානය) කි.

ආණ්ඩුව වසන් කරන කරුණ නම් ලංකා ජනරජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා විදේශ බැංකු වෙතින් ඩො. මි. 1,500 කට ආසන්න ප්‍රමාණයක් ද වසරේ පළමු මාස කිහිපය තුල ලබාගෙන ඇති බවයි. දේශීයව තවත් රු.බි. 1930 (ඩොලර් මිලියන 6.04) ක ණය ලබා ගෙන ඇති බවයි. 

ලංකා ආණ්ඩුව 2022 බංකොලොත් භාවයට පත් වූ නමුත් බහු පාර්ශවීය ණය ගෙවීම පැහැර හැරියේ නැති තරම්ය.  2024 ආරම්භවන විටත් බහුපාර්ශවීය ණය කිසිදු මුදලක් හිඟ ලෙස පැවතියේ නැත.

ජ්‍යාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟාව අනුව ණය ශේෂය පහසුවෙන් හදුණාගැනීම සඳහා දේශීය වශයෙන් ලබා ගන්නා රුපියල් ණය ද එක් එක් නිශ්චිත දිනවලට පවතින විනිමය අනුපාතිකයන්ට අනුව ලේඛන ගත කිරීමක් සිදු වේ. එය හුදෙක් සන්නිවේදන පහසුව සඳහා ඇතිකර ගත් එකඟතාවයක් මිස රුපියල් ණය ඩොලර් වලින් පියවීමක් හෝ ඩොලර් ණය රුපියල්වලින් පියවීමක් ගම්‍ය නොවේ.

වඩාත් නිවැරදි ක්‍රමවේදය රුපියල් ණය රුපියල් ලෙස ද, ඩොලර් ණය ඩොලර් ලෙස ද, ගණනය කිරීම වේ. ඒ අනුව, 2024  අවසානයේ පියවීමට තිබු දේශීය ණය ප්‍රමාණය රු. බිලියන 18,883 ක් වූ අතර, එය 2026 මාර්තු 31 වන දිනට රු. බි. 19,383 දක්වා රු. බිලියන  490 කින් වැඩිවී ඇත.

එසේම, 2024 12. 31 දිනට පැවති විදේශ ණය ශේෂය ඩො.. මි. 36,680 සිට ඩො.මි.  37,468 දක්වා ඩො.මි. 788 කින් වැඩිවී ඇත.

රැව‍ටෙන්න එපා! ඩොලර් බිලියන 8.094 ක් ක ණය ගෙවු කතාව ඉලක්කම් විජ්ජාවක් පමණී. දේශීය රුපියල් හා විදේශීය‍ෙ ඩොලර් ණය දෙවර්ගයම වැඩිවී ඇත.

රජිත් කීර්ති තෙන්න‍කෝන්

විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

ඇමුණුම

ගෙවීමට ඇති දේශීය ණය ශේෂය (ණය තොගය) 

 රු.බිලියන ඩොලර් මිලියන 
2024 අවසානය                18,893                 64,571
2025 ජූනි 30                19,655                 65,524
2025 දෙසැ 31                19,434                 62,693
2026 මාර්තු 31                19,383                 61,497

ගෙවීමට ඇති විදේශ ණය ශේෂය (ණය තොගය)

 රුපියල් බිලියන ඩොලර්  මිලියන  
2024 අවසානය                10,732                 36,680
2025 ජූනි 30                11,140                 37,138
2025 දෙසැ 31                11,675                 37,663
2026 මාර්තු 31                11,810                 37,468

Rajith Keerthi Tennakoon

Former Governor of Uva, Southern and Central Provinces

Former Executive Director of Campaign for Free and Fair Elections (CaFFE) and Center for Human Rights and Research – CHR Sri Lanka

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress