රණවිරු දඩයමට සියල්ල සූදානම්.. – ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
Posted on June 2nd, 2025
Lanka Leader
පසුගිය රණවිරු සැමරුම සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය පිළිබඳව ජනතාවගේ සැකසංකා වර්ධනය වීමක් පෙන්නුම් කරන පසුබිමක ආණ්ඩුව විසින් අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමේ ක්‍රියාදාමය කරළියට පැමිණ ඇති බවත්, අධිකරණ පද්ධතියේ ඇති කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා ගෙනෙන දෙයක් ලෙස මතුපිටින් පෙන්නුවද මෙම අභිචෝදක කාර්යාලය ගෙන ඒමේ ඇත්ත අරමුණ එය නොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවක දී ඒ මහතා පවසන්නේ මෙවැනි කාර්යාලයක් පිහිටුවිය යුතු බවට අවදාරණය කර ඇත්තේ 2024 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරිය බවත්, මෙය බාහිරින් පැමිණි ඇනවුමක් අනුව සිදුවුනු කටයුත්තක් බව පැහැදිලි බවත් ය.
දෙමළ ඩයස්පෝරාව සමග මේ ආණ්ඩුව ඇතිකරගෙන ඇති එකඟතා මොනවාද යන්න තවමත් හෙළිදරව් වී නැතත් මෙම අභිචෝදක කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට යෝජනාව පැමිණෙන්නේද යම් පිරිසක් විසින් ඉතා සූක්ෂම ආකාරයෙන් එහි පිටුපස සිට මෙහෙයවීමෙන් බව පැහැදිලි වන බවද ඒ මහතා පවසයි.
දැන් ඔවුන් තවත් පියවරක් ඉදිරයට ගොස් පනත ගෙන ඒමට සූදානම් වන බවත් පවසන වසන්ත බණ්ඩාර මහතා මෙය හුදෙකලා සිදුවීමක් නොව මහා මාර්ග සිතියමක අවසන් සැතපුම බවත් හෙළිකරයි.
මෙම කාර්යාලය පිහිටුවීමෙන් පසු රණවිරුවන් දඩයම සඳහා අවශ්‍ය සියල්ල සම්පූර්ණ වන බවත් වසන්ත බණ්ඩාර මහතා අනාවරණය කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..