ජ’පුර රෝහල් වෛද්‍යවරියගේ නඩුවේදී එළියට ආ කරුණු (වීඩියෝ)
Posted on June 24th, 2025

උපුටා ගැන්ම  හිරු පුවත්

ස්නායු ශල්‍ය උපකරණ බාහිර පාර්ශ්වයන්ගෙන් ලබා ගැනීමට සැලැස්වීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා ගොනු කර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තිදෙනාගේ ඇප ඉල්ලීම් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව එම සැකකරුවන් ලබන 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණය නියෝග කළේ.

ස්නායු ශල්‍ය උපකරණ බාහිර පාර්ශ්වයන්ගෙන් ලබා ගැනීමට සැලැස්වීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළ බවට චෝදනා ගොනු කර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තිදෙනා අද (24) අධිකරණයට ඉදිරිපත් කළා.

මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.

“ස්වාමීනී, මෙම ඊ.වී.ඩී නමැති ශල්‍ය උපකරණය ජයවර්ධනපුර රෝහලේ රුපියල් 17,500/- ක මුදලකට ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. නමුත් මේ සැකකාර වෛද්‍යවරිය මෙම උපකරණය මිලදී ගැනීම සඳහා රෝගීන්ව පෞද්ගලික ආයතනයකට යොමු කරනවා. මෙම ආයතනය පිළිබඳ විමර්ශනය කිරීමේදී අපට අනාවරණ වුණා එහි හිමිකරු යුශාන්ත මනෝජ් ද සිල්වා නමැත්තෙකු බව. පසුව මෙම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණ වුණා සැකකාර වෛද්‍යවරියගේ සැමියා වන නයිජල් නමැත්තාගේ අවශ්‍යතාවය මත මෙම සමාගම ආරම්භ කළ බව. 2010 වසරේ නයිජල් නමැති මෙම සැකකාරියගේ සැමියා මියයාමෙන් පසුව එම සමාගමට අදාළ සියලු ලේඛන සැකකාර වෛද්‍යවරියට භාරදී තමන් ඉන් ඉවත් වූ බවත් එම පුද්ගලයා ප්‍රකාශ කර තිබෙනවා.”

ඒ අනුව රුපියල් 17,500/- ක මුදලකට රෝහලින් මිලදී ගත හැකි මෙම ශල්‍ය උපකරණය රුපියල් 150,000/- සිට 250,000/- දක්වා මුදලකට සැකකාර වෛද්‍යවරියගේ පෞද්ගලික ආයතනය හරහා අලෙවි කර තිබෙන බව අනාවරණය වී තිබෙන බවයි අල්ලස් කොමිසමේ නිලධාරීයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ.

අනතුරුව සැකකාර වෛද්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේ,

“ස්වාමීනී මෙම සැකකාර වෛද්‍යවරිය සිදු කරන්නේ ඉතාම සියුම් සැත්කම්. පිටතින් ශල්‍ය උපකරණ මිලදී ගැනීම කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. ජයවර්ධනපුර රෝහල කියන්නේ මුදල් අය කරලා ශල්‍යකර්ම කරන ආයතනයක්. එහි සිදු කරන ශල්‍යකර්ම සඳහා ඕනෑතරම් පිටතින් උපකරණ රැගෙන තිබෙනවා. මේක පළවෙනි අවස්ථාව නෙවෙයි. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිලදී ගන්නා ශල්‍ය උපකරණ ප්‍රශස්ත මට්ටමේ ඒවා නෙවෙයි. ඒ නිසා තමයි වඩාත් ගුණාත්මක උපකරණ පිටතින් මිලදී ගැනීමට රෝගීන්ට සිදුවෙලා තිබෙන්නේ. මේ නඩුකරයට අදාළ විමර්ශනය ආරම්භ වුණේ 2023 වසරේ. එතැන් පටන් මේ දක්වා විමර්ශන සිදුවෙනවා. මගේ සේවාදායිකාව කිසිදු පුද්ගලයෙකුට තර්ජනය කර නැහැ.ඒ අනුව ඇයගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ කරුණු අධිකරණයට ඉදිරිපත් වී නොමැති නිසා ඇය ඇප මත මුදාහරින්න.”

මෙහිදී නඩුවේ සැකකරුවෙකු වන රෝහල් ලිපිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.

“සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා ප්‍රකාශ කරලා තිබුණා පිටතින් ඖෂධ හා උපකරණ මිලදී ගැනීම වරදක් නැහැ කියලා. ඒක සෞඛ්‍ය අමාත්‍යංශයට කරන උදව්වක් ලෙසත් ඔහු ප්‍රකාශ කර තිබුණා.”

මෙහිදී අල්ලස් කොමිසමේ නිලධාරියා පැවසුවේ වැඩි මිලට ශල්‍ය උපකරණ විකිණීම සම්බන්ධයෙන් චාමර අබේවර්ධන නමැත්තෙකු පැමිණිලි කිරීමෙන් පසුව “කාරියවසම්” නමැති නීතිඥවරයෙකු ඔහු කැඳවා රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබා දී එම ආරවුල සමථයට පත් කර තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවයි.

සැකකාර වෛද්‍යවරිය‍ට ඇප ලබා දුනහොත් විමර්ශනවලට බාධා සිදුවිය හැකි බවත් අල්ලස් කොමිසම මෙහිදී පෙන්වා දුන්නා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනතුරුව සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔවුන් තිදෙනාම ලබන 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress