ප්රජා -තන්ත්ර-වාදය නමැති නාස් ලණුවෙන් ගැලවෙමු! (පලවෙනි කොටස)
March 29th, 2020චන්ද්රසිරි විජයවික්රම, LL.B., Ph.D.
ඇඳිරි නීති අතරතුර කාලයේ ජනයා හැසුරුණ ආකාරය නිසා මෙතෙක් කොරෝනා කොටු කිරීමට කල වැඩ සියල්ලම වතුරේ ගියාය යන සෞඛ්ය අධ්යක්ෂකගේ ප්රකාශයෙන් නොකියා කියන්නේ සුද්දගෙ නීතියේ, නීතියේ ආධිපත්යය නොහොත් ප්රජාතන්ත්රවාදය මිථ්යා කතාවක් ලෙස මෝඩ හෝ මෝඩ නොවන ලංකා ජනයා සළකන බව නොවේද?
ප්රජා-තන්ත්ර යන සංස්කෘත වචන දෙකේ තේරුම ජනයා අතේ ඇති නාස් ලණුව (තීරක බලය) යනුය. එහෙත් මුළු ලෝකයේම දැන් ඇති දූෂිත නියෝජිත ප්රජාතන්ත්රවාදය යටතේ නාස් ලණුව වැටී ඇත්තේ (දමාගෙන ඇත්තේ) ජනයාටමය (චන්ද දායකයාටය). ඇමෙරිකාවේ වුවද යථාර්ථය එයය. 1990/91 දී, ත්රෝ ද රාස්කල්ස් (බින්න බැස ඉන්නා මන්ත්රීන්) අවුට්, යන්න ඇමෙරිකාවේ ජනප්රිය සටන් පාඨයක් විය. මුන් 225 ම ඉන්නාවිට පාර්ලිමේන්තුවට බෝම්බයක් දැමිය යුතුය යන කතාවෙන් සංකේතවත් කරන්නේ ලංකාවේද සිදුවී ඇති මේ විපර්යාසය (ඩිමොක්රසි ට්රැප්) නොවේද? රනිල්, කරු, සජිත් යන අය පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස ඉල්ලන්නේ කොරෝනාවට බේත ඇත්තේ මේ හොර ගුහාව තුල නිසාද?
මාක්ස්වාදී පසුබිමක් ඇති සරත් ද අල්විස් හා මාක්ස්වාදී, ක්රිස්තියානි, ද්රවිඩ පසුබිමක් ඇති කුමාර් ඩේවිඩ් යන දෙදෙනා විසින් කලම්බු ටෙලිග්රාෆ් වෙබ් අඩවියේ (මාර්තු 25, 2020) ලියමින්, ජනාධිපති ගෝඨාභයට, ලියුක්වාන් කෙනෙක් විය හැකිද, නොහැකිද යනාදී වශයෙන් කෙස්පැලෙන තර්ක ඉදිරිපත් කරමින් සිටී. කුමාර් ඩේවිඩ්ට අනුව ලංකාවේ අන්තවාදී පිස්සු හාමුදුරුවරු පිරිසක් සිටී. ඔහු 2014 දී මාදුළුවාවේ සෝභිත හිමියන්ව යහපාලන මුරුංගා අත්තේ නැංවූයේ ඒ නිසා විය යුතුය. පාසැලේදී උම්මග්ග ජාතකය, සැළලිහිණි සංදේශය හෝ සුභාෂිතය කියවා නැති සිංහල කළු සුද්දන් අක්මුල් සිඳගත් බටහිර ගැත්තන්ය. කුමාර්ට අනුව ලංකාව සිංගප්පූරුවක් කිරීම භාරදිය යුතු ජේ.වී.පී කට්ටියටය! සිංගප්පූරුව වනාහි කොළඹ හා තදාසන්න ප්රදේශයට වඩා ලොකු නැති, ඉතිහාසයක් නැති, සංක්රමණික චීන-ඉන්දියන් ජනයාගෙන් ආරම්භවූ, වානිජ වරාය මධ්යස්ථානයකි. ඉතිහාසයක්, හරි හමන් සංස්කෘතියක් නැති, වැලිකතරක් යට තෙල් ඇති ඩුබායි කොපි කරන්නේ මුහුද ගොඩකරණ සිංගප්පූරුවය.
ලෝකයේ අයිරිස් හෝ යුදෙව් ජාතිකයින්ගේ සුවිශේෂ ඉතිහාසයට නොදෙවෙනි අඛන්ඩ ඉතිහාස කතාවක් සිංහල බෞද්ධ ජාතියට තිබේ. මේ දිවයිනේ ඉතිහාසය හා භූගෝල විද්යාව නොදැන, එය දෙස සිංගප්පූරු, මැලයා, දකුණු කොරියා කණ්නාඩි දමාගෙන බැලීමේ මානසික වහල් භාවයෙන් ගැලවිය යුතුය. ඒ රටවල් පසුකල ඒකාධිපති අත්තනෝමතික පාලන අවධි අපට අවශ්ය නැත. මේ වයෝවෘධ, නූතන කළු සුද්දන්ට නොතේරෙන ඓතිහාසික බෞද්ධ රාජ්ය පාලන ප්රතිපත්ති හා සංස්ථා ක්රමයක් අපට උරුමව ඇත. සමහර කළු සුද්දන් මේ රට බහුජාතික, සර්වාගමික රටක් යයි කියන්නේ, මානව අයිතිවාසිකම් හා රෙස්පොන්සිබිලිටි ටු ප්රොටෙක්ට් යන පරණ යටත් විජිත හිමියන්ගේ අළුත් ගුණ්ඩු වලට අහුවී, බෞද්ධයින් අන් අයට සැළකූ ඉතිහාසය හා වර්තමානයට පිටුපානා පිරිසය.
ලිප්බොක්කේ හිරවුණ බෝධිසත්ව නාගයා හා දරපොල්ලක් ගත් මැහැළිය
සිංහල බෞද්ධයා මුණ ගැසීමේදී මෙන්ම වෙන්වීමේදීද අත් දෙක එකතුකර ආයුබෝවන් කියන්නේ හමුවීම හා වෙන්වීම, කාලය හා බැඳුණු එකම සිදුවීමක් නිසාය. මිනිස් ජීවිත චක්රය නම් ඉපදි-මැරී-යලි ඉපදීමය. සුද්දන් විසින් 1832 සිට අපට පුරුදු කරන්නට සැදූ ධනවාදී නියෝජිත ප්රජාතන්ත්රවාදයට අයුබෝවන් කීමට සුදුසු කාලය පැමිණ ඇති බව, ගෝඨාභය ජනාධිපතිවීම හා කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මහජනයා හැසිරෙන ආකාරයෙන් පෙනී යයි. 1948 ට පෙර සිටම පැවතගෙන එන ආත්මාර්ථකාමී-වංක දේශපාලන නියෝජිත ක්රමය, 1978 න් පසුව ලොකු මාළුවා පොඩි මාළුවා ගිල ගන්නා, සල්ලි වලට දෙමව්පියන්-දරුවන් එකිනෙකා විකුණා ගන්නා, දූෂිත සමාජයක් බිහිකරදී ඇති තරම හදිසි නීතිය හා ඇඳිරි නීතිය කඩකරමින්, එය විහිළුවට ගනිමින්, මිනිසුන් ක්රියාකරණ අන්දමින් පැහැදිලිවේ. ගෙදරින්වත්, ගමේ-නගරයේ පන්සලෙන් පල්ලියෙන්වත්, පොලිසියෙන්වත්, ලබාදුන් හෝ අවසානයේදි යුදභටයාගේ තුවක්කුවට භයෙන් වත් හටගත් විනය ගරුක කමක්, හික්මීමක් අද සමාජයේ නැති බව දැන් දෛනිකවම ඔප්පුවෙමින් පවතී. ඒ අතර විපක්ෂය බලා සිටින්නේ නීතිය කැඩීමට විරුද්ධව වෙඩි තැබීමක් වුනොත් ඉන් දේශපාලන වාසියක් ලබාගන්නය.
ඉන්දියාවේ පොලිස්කාරයින්, ඇඳිරිනීතිය කඩන බයිසිකල් කාරයින්ගේ පිටට පොලුවලින් ගහනවා මෙන් නොව, උතුරු කොරියාවේදී මෙන් දෙතුන් දෙනෙකුට වෙඩි තැබුවා නම්, 1971 හෝ 1988/9 කාලයේ රෑ තාප්පවල ඇලවූ දැන්වීමකින් (ගමේ බෙදූ තුන්ඩුවකින්) මුළු රටක් දමණය කිරීමට ජේ.වී.පී. කාරයින් සමත්වූවා මෙන් මේ ආණ්ඩුවට මුළු රටේම විනය පවත්වා ගතහැකි වන්නේය. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියන්නේ මේ නිසාය. එහෙත් උභතෝකෝටික ප්රශ්ණය නම් ඉදිරියේදි එන චන්දයකට ඇති භය නිසා එය කරන්නේ කෙසේද යනුය. සෞඛ්ය අධ්යක්ෂක කියන්නේ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත්කල විට කොළඹට එන ජනයා දෙස බලනවිට මෙතෙක් කොරෝනාව කොටු කිරීමට ගත් උත්සාහ වතුරේ ගියා යනුවෙනි. ලංකාවේ විශාල සමාජ විපරිනාමයක් සිදුවෙමින් පවතී. විනාශ පිටුපසින් වෙස්වලාගත් භාග්යද (දිව්ය ආශිර්වාද?) පැමිණේ. ඒවායින් ප්රයෝජන ගැනීම ඥානවන්ත රාජ්ය පාලකයාගේ වෙනසය. 2019 පාස්කු ප්රහාරය නිසා ඉදිරියේදී රටේ සිදුවන්නට තිබූ අති දැවැන්ත සිංහල බෞද්ධ සංහාරයක් වැළකී ගියේය. 2004 ෂුනාමිය නිසා ප්රභාකරන්ගේ වළලා තිබූ බෝම්බ හා ආයුධ මුහුදු බත් විය. ගැමියන් මීට කියන්නේ තාමත් ලංකාවේ හඳහන හොඳය කියාය.
ජාති ද්රෝහී යහපාලන (සමයන්) අවතාර
2020 කොරෝනා වසංගතයේදී ජනයා, හිරුණිකා, රංජන්, සරත් ෆොන්සේකා, රාජිත, සජිත් හා කාවින්ද ජයවර්ධන (නිරෝධායනයෙන් ආණ්ඩුව රටම හිඟන්නන් කරනවා!) යන යහපාලන දේශපාලකයින් හැසිරෙණ ආකාරය පෙන්වන්නේ, තොප්පිගල කියන්නේ කැලයක්, මේ යුද්ධය නම් කවදාවත් දිණන්න බෑ යන පිරිස් ඉදිරියේ ප්රජා(තන්ත්ර)වාදය යනු කුමක්දැයි තෝරා බේරා ගතයුතුව ඇති බවය. වඳුරන්ට දැළිපිහි නොදිය යුතුය. වගකීමෙන් තොර අයිතීන් නැත (නෝ රයිට්ස් විතවුට් ඩියුටීස්). බ්ලැන්කට් ඒකාධිපති පාලනයක් නොව යම් යම් විශේෂ දැඩි තීරණ මඟින් රට තුල විනය ගරුක සමාජයක්, සාමය හා මනාපාලනයක් ගොඩනැඟිය යුතුය. උදාහරණයක් වශයෙන් හිටපු සිවිල් නිලධාරී ගර්වින් කරුණාරත්න විසින් ලංකාවෙබ් වෙබ් අඩවියට ලියමින් (2020 මාර්තු 27) ජනාධිපති ගෝඨාභයට පෙන්වා දෙන්නේ 1970 ගණන්වල ඉතා සාර්ථක ලෙස තිබූ ලංකා අලෙවි දෙපාර්තමේන්තුව මළවුන්ගෙන් ගොඩගැනීමේ යෝග්යතාවයය. යුද හමුදාවේ සහාය ඇතිව දින ගණන කින් එයට යළි පණදිය හැකියයි ඔහු කියා සිටී. මෙවැනි තීරණ ඒ කාලයේ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක කිව්වා මෙන් ලිට්ල් බිට් ඔෆ් ටෝටලිරිසම් නොවන්නේ යහපාලනකාරයින් විසින් සමස්ථ රාජ්ය පාලන යන්ත්රයම කඩා දමා ගොස් ඇති නිසාත්, අශීලාචාර විරුද්ධ පක්ෂ හැසිරීම ඉදිරියේ මිලිටරි විනයක් නැතිව එය නැවත නඟාසිටුවීම අසීරු නොව, කල නොහැකි කාරියක් වන නිසාත්ය. මෙවැනි අත්යාවශ්ය රාජ්ය-මිලිටරි මැදිහත්වීම් වලින් තොරව මේ රට ගොඩගත නොහැකි බව පෙන්වා දීම මේ ලිපියේ අරමුණය.
උඩු යටිකුරු වන සමාජ ආකල්ප
රවි කරුණානායක ඇතුළු නුගේගොඩ ක්රිස්තියානි පිරිසක් අසල පන්සලේ උදෑසණ පිරිත් නිසා ඔවුන්ට නිදාගැනීමට නොහැකියයි කියා සුද්දගේ නීතිය උඩ උසාවියෙන් තහනම් නියෝගයක් ලබාගත්තේය. ඔවුන් පන්සල අසලට පදිංචියට ඒම උසාවියට අදාල නැත! එහෙත් දැන් කොරෝනා නිසා අගරදගුරු මැල්කම් රංජිත් කියන්නේ මුළු රටටම ඇසෙණසේ රතන සූත්රය ස්ජ්ජායනය කරණ ලෙසය. සිංහල බෞද්ධයින් වන අපට රෑ එළිවනතුරු ගමේ පන්සලේ පිරිත් ඇසීම නින්දට භාධාවක් නොවීය. අත් දෙක පපුවට එකතුකර අයුබෝවන් කීම සරදමට ලක්කල ලෝකයේ බොහෝ සුද්දන් හා ලංකාවේ කළු සුද්දන් දැන් අතට අත දීම වෙනුවට ආයුබෝවන් ක්රමය අනුගමණය කරන්නේ කොරෝනාවට ඇති භය නිසාය. ඇමෙරිකාවේ කොලේජ් වල ලොක්කන් පවා බොහෝසෙයින් පිරිසිදු බාත් (රෙස්ට්) රූම් එකේදී මුත්රා කර අත්දෙක නොසෝදාම පිටව යනවා මා දැක ඇත. කොමෝඩ් එකේ ඉඳගන්නවා වෙනුවට ලංකාවේ/ඉන්දියාවේ කකුල් දෙකෙන් ඉඳ ගැනීම (කුක්කුට?) විද්යාණුකූල යයි දැන් පිළිරගෙන ඇති නිසා කොමෝඩ් එකේ ඉඳගත් විට කකුල් දෙක උඩට තබා ගැනීමට ඒ සමඟ වෙනම ප්ලාස්ටික් පුටුවකට සමාන දෙයක් දැන් ඇමෙරිකාවේ ජනප්රිය වෙමින් පවතී.
මෙම කරුණු සඳහන් කරන්නේ රාජ්ය පාලනය සම්බන්ධයෙන් යුරෝපයේ හා ඇමෙරිකාවේ මහාචාර්ය්යවරු දෙන ලණු කා, අපේ අතීත විසඳුම් පද්ධති ඉවතා ලා ක්රියාකරණ කළු සුද්දන්ගේ හැසිරීමද මීට සමාන නොවේද යන්න පෙන්වා දීමටය. රනිල් වික්රමසිංහ තාමත් ලෝක ක්රිස්තියානි ඩිමොක්රටික් සංගමයේ උපසභාපතිදැයි මම නොදනිමි. එහෙත් මොවුන්ගේ ලණුකා කොසොවෝ, සුඩානය, ටයිමෝර්, ලෙබනනය (හා සමහරවිට ස්කොට්ලන්තය) අමාරුවේ වැටුණේය (2002 සටන් විරාමය). 13 සංශොධනය යයි කියන විසඳුම දෙස බලන්න. මේ මඟින් තිබුණ ප්රශ්ණය තවත් අවුල් වුනා මිස විසඳුණාද? සිංහල පක්ෂ දේශපාලකයින් ජනයා රවටන්නට රට ඒකීය යයි කියද්දී සුප්රිම් උසාවිය කියන්නේ දැන් රට පෙඩරල් කියාය! මහජාතියේ අධික බල තන්හාව අඩු කිරීමට, සුළු ජන වර්ගවල ආරක්ෂාව සඳහා නන් මැජොරිටේරියන් ගනයේ එක් බටහිර විසඳුමක් ලෙස 13-ඒ ගෙණෙන ලදී. කලින් වර්ධරාජා පෙරුමාල් යටතේත්, මෑතදී විග්නේශ්වරන් යටතේත් රට එකතුකරනවා වෙනුවට රට බෙදීම තීව්ර නොවුණාද? ජාතිය ගීය භාෂා දෙකෙන් ගයන්නට සිරිසේන ජනාධිපති දුර දිග නොසිතා ගත් අත්තනෝමතික තීරණය නිසා දැන් දකුණේ භාෂා දෙකෙන් එය ගැයුවත් උතුරේ එය කෙරෙන්නේ දෙමළෙන් පමණය! සිංහල මිනිසුන් අතරත් තේසවලමෙයි නීතියක් තිබුණොත් කුමක් වේවිද?
19 සංශොධන ඇබ්බැද්දිය ගැන කිව යුත්තේ එය මාක්ස්වාදී ජයම්පතිගේත්, ක්රිස්තියානි ඊළම් සුමන්තිරන්ගේත් රට අකර්මණ්ය කර, රට කොට උඩ යැවීමේ කුමණ්ත්රනයක් බවය. මේ කූඨ ක්රියා නිසා විශේෂයෙන් දෙමළ ජනයාටවත්, බොරු ප්රජා(තන්ත්ර) වාදයටවත්, නීතියේ ආධිපත්යය නම් මිථ්යාවක්වත්, අන්තිමේදී යහපාලනයක්වත් ලැබුණේ නැත. දැන් අවුරුදු දෙකක සිට 13-ඒ පලාත් සභා මන්ත්රීන්ගේ පලාත් මංකොල්ලය නතරවී ඇති අතර ඒ ගැන කතා කරන්නට කෙනෙක්වත් ඉතිරිව නැත. ඉන් මොන තරම් ධන විනාශයක් සිදු වුනාද? ටියුෂන් ගුරුවරු, දොස්තර, නීතීඥ කාක්කෝ (මේ දෙගොල්ල ඇමෙරිකාවේද මෙවැනිමය), පියුන්, කසල එකතුකරන්නාගේ සිටම පගාවට යටවුණ රාජ්ය සේවය, මද්රසා, රටේ ඉතිහාසය නොුගන්වන ඉන්ටර්නැෂනල් පාසැල්, කාති උසාවි, විල්පත්තු/මුහුදු මහවිහාර සංහාරය යන මේ එකී නොකී ව්යසන වලින් රට ගොඩගන්නට චන්ද ක්රමයක් යටතේ පුළුවන්ද? උදාහරණයක් වශයෙන්, මුන් 225 ම එලවන්න ඕනෑ කියූවත්, දැන් 2020 නොමිනේෂන් දුන් අය අතර මොවුන් කීදෙනෙක් ඉන්නවාද? ඔවුන් දැන් අළුතෙන් යහපත් අයසේ මැරී ඉපදිලාද? තමන්ගේ අවුරුදු 15 ක පාර්ලිමේන්තු කාලය ගැන රතන හිමියන් කියන්නේ පාර්ලිමේන්තුවේ සිටි අයගෙන් අවම වශයෙන් සියේට 50 ක් වත් තකතිරු හරක් බවය! පවතින ගාබේජ් චන්ද ක්රමය අනුව සිදු වන්නේ ගාබේජ්-ඉන්-ගාබේජ් අවුට්ය.
කොසොල් රජතුමාගේ සීන දාසැය
කොසොල් රජතුමාගේ සීන ලංකාවේත්, ලෝකයෙත් සැබෑ වෙමින් තිබෙනවා කීමෙන් අදහස් වන්නේ, සුද්දන්ගේ නියෝජිත ප්රජාතන්ත්රවාදය අසාර්ථකවී ඇති බව නොවේද? ඒ සීන වලින් රෝගය හා රෝග නිධානය පෙන්වා දී ඇතත්, ඊට ඍජු විසඳුමක් ප්රකාශවී නැත. විසඳුම අවංක කමද? රාජ්ය පාලකයින් අධර්මිෂ්ඨ වීමට හේතුව නොයෙක් සූත්රවල පෙන්වාදී ඇති උපදෙස්, මඟපෙන්වීම් අනුගමණය නොකිරීමය. රාජා භවතු ධම්මිකෝ යයි කීමෙන් පමණක් එය සිදු නොවේ. ඇරිස්ටෝටල් කියුවේ රාජ්යපාලනය උගත්, බුද්ධිමත් (ඥානවන්ත) පිරිසක් විසින් කලයුතු බවය. එහෙත් වියත් මඟ සම්බන්ධයෙන් ඇතිවූ විවාදයේදී මතුවූ කරුණක් නම් උපාධි තිබුණත්, ජාතිවාත්ශල්යයක් නැති අයගෙන් වැඩක් තිබේද යන්නය. උදාහරණයක් වශයෙන් පිටරටින් ලාබෙට හාල් ගේන්න පුළුවන් නිසා කුඹුරුවල බඩ ඉරිඟු හිටවන්නැයි රවි කරුණානායක කියන විට හෝ ඇඳුම් මෝස්තර කපන්නෙක්වූ, උසස් පෙළවත් සමත් නැති සිංහල බෞද්ධ හැදියාවක් නැති මංගල සමරවීර ගෑණුන්ටද බාර්/බියර්/විස්කි බීමේ සමතැන දෙන්නට කියන විට උගතා හා නූගතා කවුද? බුද්ධ ශාසනයේ සිදුවෙමින් පවතින පිරිහීමට වගකිවයුතු මහානායක හිමිවරුද, පක්ෂ දේශපාලකයින්ද, ගිහි දායකයින්ද? යම් අවංක මිනිසුන්, අවංක මෝඩයින් වෙන්නටත් පුළුවන්ද?
දූෂිත සමාජය නම් විෂබීජයෙන් ස්වයංනිරෝධායනය වීම!
ලෝභ-ද්වේශ-මෝහයෙන් පිරි, හිරි ඔත්තප්ප අඩු හෝ නැති මිනිසුන්ගේ, හොනස්ටි හා සින්සියැරිටි (අවංකභාවය, හා සද්ගුණවත්භාවය) යන ගුණාංග දෙකට අදාල මෙම උභතෝකෝටික රාජ්ය පාලන ගැටළුවට කදිම ප්රායෝගික විසඳුමක් මධ්යම ඉතාලියේ ටස්කනියේ සියෙනෑ නගර සමූහාණ්ඩුවේ (රිපබ්ලික්) ක්රිස්තු වර්ෂ 1125-1555 කාලයේදී ක්රියාත්මක විය. චන්දයෙන් තේරෙන එහි නවදෙනාගේ කවුන්සිලය, කෙටි කලකින් එන ඊළඟ චන්දය තෙක්, තම නිවාස වලට නොගොස්, නගර සභා බිල්ඩිමේම බෝඩිංකාරයින් මෙන් පදිංචිව සිටින්නේය. සීගිරි බිතුසිතුවම් මෙන් අදටත් දැකගත හැකි එම නගර සභා බිල්ඩිමේ හා ඒ අවට බිත්ති යහපාලනය හා අවපාලනය පෙන්වන බිතු සිතුවම් වලින් ප්රදර්ශණය කරන ලද්දේ නගර වැසියන්ට ආදර්ශයක් වශයෙනි. ගුඩ් ගවර්න්මන්ට් හා බෑඩ් ගවර්මන්ට් නිසා ලැබෙන හොඳ හා නරක ආනිසංශද චිත්රවලට ඇතුලත් විය. මෙම කවුන්සිලය විධායක හා අධිකරණ බලතලද සහිත විය.
අශොක අධිරාජයාගේ සෙල්ලිපි වල ලියා තිබෙන්නේත් මීට සමාන අදහස්මය. එහෙත් රජුගේ අභාවයෙන් කෙටිකලකට පසු මුළු සදාචාර නීති පද්ධතියම කඩා වැටුනේය. ලෝකයේ ඇති ප්රශ්ණ වලට විසඳුම් බෞද්ධාගම අනුසාරයෙන් ලබාගත හැකියයි අබ්දුල් කලාම් හා ප්රතිභා පටිල් යන බෞද්ධ නොවන ඉන්දියන් ජනාධිපතිවරු දෙන්නෙක්ම කියා සිටියේය. ඇමෙරිකාවේ ප්රශ්ණ සම්බන්ධයෙන් රොබට් තර්මන් නම් ඇමෙරිකන් බෞද්ධයා විසින්ද මෙසේ ලියා ඇත. ගුණදාස අමරසේකර මහතාද මේ අදහස ඉදිරිපත් කරන ලදී. සර්වෝදය ව්යාපාරය මෙම මග අනුගමනය කරන බව සඳහන්වේ. ගම් 15,000 ක එය ක්රියාත්මක වන බව කියුවත් එහි සාර්ථක භාවය පෙන්වන සංඛ්යාලේඛන ප්රසිද්ධ කර නැත. රටේ ජනාධිපතිවරු, අගමැතිවරු අපේ හාමුදුරුවනේ, අපේ හාමුදුරුවනේ කියමින් කඹ වැනි පිරිත් නූල් බැඳගෙන යතත් සමාජයේ ගුණාත්මක වර්ධනයක් නොපෙනේ.
මේ සම්බන්ධයෙන් සරලව සිතුවොත්, ලොව සියළු දේම නැසීයන සුළුය, සියළු සත්වයෝ (මිනිසුන් පමණක් නොව) නිදුක්-නිරෝගී-සුවපත් වෙත්වා හා මධ්යම ප්රතිපදාව යන මූලික සිද්ධාන්ත තුලින් මිනිසාගේ දෛනික හැසිරීම හැඩ ගැසෙන්නේ- දුක, දුකට හේතුව, දුක නැතිකිරීම, ආර්ය අෂ්ටාංගික මාර්ගය- යන බෞද්ධ-අබෞද්ධ හැම දෙනාටම පොදු සූත්රය (චතුරාර්ය සත්යය) අනුවය.
(මතු සම්බන්ධයි)














